Thursday, March 17, 2016

අද තරුණ පරපුර ජීවිත පටන්ගන්නේ
ආදරයෙන් නෙමෙයි
රාගයෙන්
ප‍්‍රවීණ ගීත රචක සුනිල් ආර් ගමගේ

පිවිතුරුය පළමු පෙම - බිහිසුණුය බිඳුණු දිනළෙන්ගතුය සුවඳ ඔබ - සුදු හාමිනේ.................

බිදුණු පෙමින්, රිදුණු සිතින් යුතු ඔහු වෙන්ව ගිය ආදරියට තවමත් සුදු හාමිනේ යැයි අමතයි. ඒ සැබෑ ආදරය එහි තිබූ නිසා වෙන්ය. අම්මා ලෙඩක් දැම්මත්, තාත්තා ලෙඩක් දැම්මත් වස බොන, මට බෑ ඔහු කීවත් වස බොන යුගයක ඔහු ලියූ ගී ආදරණීයයි. ඒ ප‍්‍රවීණ ගීත රචක සුනිල් ආර් ගමගේ මහතා. 
  • ඔබව ගීත රචකයෙකු විදිහට හඳුන්වනවාට කැමති ද? නැත්නම් ඒ පිළිබඳව ආඩම්බර ද?


ඇත්තෙන්ම ආඩම්බරයි.

  • මේ දවස්වල ඔබේ දෙසවනේ දෝංකාර දෙන්නේ  මොනවගේ ගීත ද?

මේ දිනවල ගීත අහනවා නම් ගොඩාක් අඩුයි. දෙසවනේ දෝංකාර දෙන්න තරම් ගීතයක් ඇහෙන්නේ නෑ. ඒ නිසා උවමනාවෙන් ගීතයක් වාදනය කරලා ගෙදරදී ගීතයක් ඇහුවොත් මිසක් අපේ ජාතික නාළිකාවලිනුත් හොඳ ගීත වාදනය වනවා අඩුයි. ඒ නිසා මේ දිනවල මගේ සවන් මත දෝංකාර දෙන ගීතයක් එකපාරටම හිතට එන්නේ නෑ.

  • කැමතිම ගීතය මතක් කළොත්?

මම ලියපු ගීතවලින් කැමතිම ගීතය, ”මහ පිරිතක් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්” යන ගීතයට. මගෙන් බාහිරව ගීතයක් ගත්තොත් මම හරි කැමතියි කුලරත්න ආරියවංශ මහතා ලියපු, අමරදේව මහතා ගායනා කරන ”සඳ හොරෙන් හොරෙන්” ගීතයට.

  • ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?

ඒ ගීතවල ගැබ් වෙලා තියෙන සෞන්දර්යාත්මක බව පේ‍්‍රමණීය බව බොහොම වටිනවා. අද තරුණ පරපුර ජීවිත පටන්ගන්නේ ආදරයෙන් නෙමෙයි. එහි මූල බීජය වෙන්නේ රාගය. ඉතිං හොද ආදර ගීතයක් නිසා මම ”සඳ හොරෙන් හොරෙන්” යන ගීතයට කැමතියි. ”මහ පිරිතක් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්” ගීතය මගේ ජීවිත එක්ක බැªණු ගීතයක්. ඒ මගේ පුතයි මගේ බිරිදයි මේ රටින් ටික කාලෙකට වෙන්ව ගිය දිනවල පි‍්‍රය විප‍්‍රයෝගයේ ඇති දුක තදින් දැනුන මොහොතක මේ ගීතය මගෙ අතින් ලිය වුණා.
  • අද වත්මන් පරපුර ගීත අහනවා ද? වත්මන් පරපුර තුළ ගීත අහන සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා ද?

ඇත්තෙන්ම නැහැ. මොකද ගීත අහන සංස්කෘතියක් හැදෙන්න, ගීත ඇහෙන්න සලස්සන්න එපෑයෑ. 70 දශකයේ අපිට තිබුණු එක ගුවන් විදුලි නාළිකාවෙන් ඔය කියන දේ හරි අපූරුවට සිද්ධ වුණා. අද නාලිකා වැඩියි. නමුත් හොද ගීත ඇහෙන්නේ නැහැ. ඉතින් කොහොමද ගීත අහන සංස්කෘතියක් බිහිවෙන්නේ.
  • අද අලූත් පරපුරේ පද රචකයින්ගේ ගීතවල ගුණාත්මක භාවය, සාහිත්‍යමය අගය, පිළිබද ඔබේ තක්සේරුව කොයි වගේ ද?

මගෙන් පසු පරපුර ගත්තාම සුභාවිත ගීතය වෙනුවෙන් 
පෙළගැසුණු නව ගීත රචකයින් සමූහයක් ම ඉන්නවා. රවී සිරිවර්ධන, අසංක රුවන් සාගර, අමිල තේනුවර, සමුද්‍ර වෙත්තසිංහ, සුදත් සෝමවීර, ශ්‍යමිලා හුසේන් වැනි තරුණ පරපුරක් මේ ස්වභාවික ගීතය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ඔවුන් ගේ ගීත සඳහා අපට තිබුණු වේදිකාව නැහැ. 
මම මුල් කාලයේ ”නව පද මාලා” නම් වූ වැඩසටහනකට ගීත ලීවා. ගුවන් විදුලි ගීත රචකයින් වෙනුවෙන් එවැනි වැඩසටහන් තිබුණා. ඒ වගේම ”මියුරස වින්දන”, ”මධුවන්ති” වැනි වැඩසටහන් තිබුණා. ඒ වගේ වැඩසටහන් ගුවන් විදුලි ගීත රචකයින්ට හොඳ පන්නරයක් වුණා. නමුත් අද ඒ කිසිවක් නෑ. ඒ දීපු තල්ලූව අද ඉන්න සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටින ගීත රචකයින්ට ලැබෙන්නේ නෑ. නමුත් මුදල් මත, නාලිකාවන්හී අවශ්‍යතාව මත, රිගිං ටෝන් සඳහා ගීත රචනා කරන සාහිත්‍යධරයන් නැති බොහොම ළපටි වචන හසුරුවන පිරිසක් ඉන්නවා. ඒ අයගේ ගීත මුදල් මත, වාණිජ පරමාර්ථ මත ඔනෑ තරම් එහාට මෙහාට හරි අපූරුවට මේ රටේ හුවමාරු වනවා. ඇත්තෙන්ම ඒ නිර්මාණ පද රචනා වශයෙනුත් තනු නිර්මාණ අතිනුත් දුර්වලයි.
  • අද මාධ්‍යවල ප‍්‍රවීණ නිර්මාණකරුවෙකුට අලූත් ගීතයක් ප‍්‍රචාරය කරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියනවා නේද?

අද නාලිකාවන් කටයුතු කරන්නේ ඔවුන්ගේ පැවැත්ම උදෙසා පමණයි. ඒ සඳහා ඔවුන්ගේ ඉලක්කය වන්නේ තරුණ පරපුර. අපි මතට විරුද්ධයි. සැබැවින්ම බාල බොලද ගීතවලට අබ්බැහි වීමත් එක්තරා ආකාරයට මත් වීමක් තමයි. මේ තුළින් සිදු වෙන්නේ සාහිත්‍යයෙන් තොර ලෝකයකට මිනිසුන්ව යොමු  කරමින් රිද්මයට පමණක් ඇලූම්කරන පිරිසක් බිහි කිරීමක්.  
ඉස්සර පේ‍්‍රමය කියන්නේ හරිම උත්තරීතර දෙයක්. නමුත් ආදරය පේ‍්‍රමය වැනි 
හැ`ගීම්වලදී ලැජ්ජාව, බිය, නැතිවෙලා ගිහිල්ලා. වැඩිහිටියන්ට ගෞරව කිරීම දුර්වලයි. ඇත්තෙන්ම එවැනි තත්ත්වයකට තල්ලූවෙලා ගිහින් තියෙන්නේ සාහිත්‍ය පරිශීලනය කිරීමේ දුර්වලතාව නිසයි.
  • අද වැඩි වශයෙන්ම අහන්න ලැබෙන්නේ පිරිමි පාර්ශවය අ`ඩන සිංදු. ඇත්තටම හේතුව මොකක් ද?

ඇත්තටම ඒකට මට දෙන්න උත්තරයකුත් නෑ. ඇත්තටම පිරිමින්ගේ අදෝනා තමයි ඇහෙන්නේ. ඇත්තටම පිරිමි නෑ කියන්නද, ඉන්නේ ගෑනු වගේ පිරිමි කියන්නද මට හිතාගන්න බෑ. හොඳ හඩක් තියෙන පිරිමි අඩන්න ගත්තාම මොකද වෙන්නේ, පිරිමින්ගේ හ`ඩ පෞරුෂය මේ විදිහට හෑල්ලූ කරන්නේ ඇයි ද කියන එක ප‍්‍රශ්නයක්.
  • පසුගිය කාලේ තරු තෝරපු තර`ගවලදී තේරුන තරුණ තරුණියෝ රට වටේ උස්සගෙන ගියා. නමුත් ඔවුන් අද කෝ? මොකක් හරි වරදක් තියෙනවා නේද?

මම ජාතික තරුණසේවා සභාවේ ඉන්නකොට තමයි තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව කළේ. ඒත් සභාපතිව සිටියේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නයන්. අපි එහි පුරෝගාමීත්වයක් ගෙන කටයුතු කළා. ඉතා විශිෂ්ට ගායක ගායිකාවන්, හොද ගීත රචකයින්, හොද තනු රචකයින්, හොද සන්නිවේදකයින් ජාතික තරුණසේවා සභාවේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව තුළින් බිහි වුණා.  
නමුත් අද මේ නාලිකාවලින් සිදු කරන්නේ කිසිදු ජාතික වගකීමක් නෙමෙයි. ඔවුන්ගේ පටු වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනිමට සඳහා කරගෙන යන කි‍්‍රයාවලියක්. කවුද තෝරපු තරුවලින් ඉතිරිවෙලා ඉන්නේ. හොද පරපුරක් මේ කලා ක්ෂේත‍්‍රය දායාද කරන්න ලැබීම පිළබඳව ඇත්තටම, මට මරණ මංචකයේ දී වුවද සතුටු වෙන්න පුලූවන්.
  • මේ ගැටලූවට විසදුමක් සොයන්න උත්සහ කරලා නැද් ද?

ඒක තනිවම කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. එදා අපිට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නයන්ගේ උදව් හා උපකාරය තිබුණා. නමුත් අද ජාතික තරුණසේවා සභාව නිද්‍රාශීලී. ජාතික තරුණසේවා සභාව තරුණයන් වෙනුවෙන් කළ යුතු කාර්යයන් හදුනන්නේ නෑ. මහගමසේකර, මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, මඩවල එස් රත්නායක, යනාදී ගීත රචකයින් ගීත ලීවට පස්සේ සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, සුනිල් සරත් පෙරේරා වැනි පරපුරක් බිහිවෙනවා. ඊට පස්සේ සුනිල් සරත් පෙරේරා, සුනිල් ආර් ගමගේ වැනි පරපුරක් බිහි වුණා. ඉතිං මේ කාර්යය සුනිල් ආර් ගමගේලාට තනිවම කරන්න බෑ. දැන් මේ යෂ්ටිය තව පිරිසක් අතට ගත යුතුයි. අරගෙන ඉදිරියට කරගෙන යා යුතුයි.  
අද දේශපාලකයන්ට අවශ්‍ය තමන්ගේ බලය රැක ගන්න, පරිපාලන නිලධාරීන් අවශ්‍ය තමන්ගේ පැවැත්ම රැුක ගන්න, මේ හේතු නිසා සියලූ දෙනාම තමන්ගේ  ඕන එපාකම් ඉටු කරගන්නවා මිසක් ජාතික වගකීමකට උර දෙන්න උවමනාවක් නෑ.

සංවාදය - අනූෂා රාජපක්ෂ
ඇත්ත


Wednesday, August 12, 2015

මහරජ අජාසත්


                           මායා රූ පෙළ චලනය වෙයි

සෑම මොහොතක්ම අතීතයට එක්වෙයි. විටෙක වර්තමානයට වඩා තදින් අතීතය අපිට ආමන්ත‍්‍රණය කරන්නේ ය. එදා ආශාවෙන් පැතූ බොහෝ දෑ, අද අතීතයට එක් වී ඇත. පුස්කොල පොත් මත නිදන් වූ අතීත සිතුවම් පාඨ කාවන් ගේ ආහර වී ඇත. නමුත් මෑත කාලීනව මේ සිතුවම් චලනය කරවීමේ දැවැන්ත ප‍්‍රයත්නයකට සිනමා කරුවන් කිහිපදෙනෙක් සමත් විය. අබා, කුස පබා, විජය කුවේණි, සිරි දළදාගමනය, මහින්දාගමනය, මහරජ ගැමුණු, අනගාරික ධර්මපාල, සිරිපැරකුම්,සිද්ධාර්ථ ගෞතම මෑත කාලීනව විටින් විට ලක් ඉතිහාසය සිනමාවෙන් චිත‍්‍රණය කළ අවස්ථාවන් ය. චිත්තාකර්ෂණීය ලෙස විටෙක ඓතිහාසික කථා රැුල්ල ඉතිහාසය විනාශ කිරීමක් ලෙසත්, එය අපේ සංස්කෘතික උරුමයන් අමු අමුවේ පටු පරමාර්ථ සාධනය උදෙසා විනාශ කළ බවට චෝදනා එල්ල විය. කාලය එසේ ගතවෙද්දී නිහතමානී එක් අපූරු මිනිසෙක් පෙර කී ඓතිහාසික කථා රැුල්ලේ සුවිසෙස් උරුමයන් කිහිපයක හිමිකරුවෙක් මෙන් ම භාරකරුවෙක් බවට පත් වෙයි. ඒ අතීතයේ බිතු සිතුවම් චලනය කර පෙන් වීමකි. සිනමාව යනු නව නිර්මාණයකි. ඒ නිර්මාණයේ නිර්මාණාත්මක ගුණය එහි රසයට බලපාන්නේය. එහි රසය පේ‍්‍රක්ෂකත්වයට බලපාන්නනේය. එහි පේ‍්‍රක්ෂකත්වය එහි සාර්ථකත්වයට බලපාන්නේ ය.  මහරජ අජාසත්ත මේ සිනමාගමනයේ නවමු ඇරයුමකි.

මේ මහරජ අජාසත් සිනමා නිර්මාණය පිළිබද එහි අධ්‍යක්ෂ සනත් අබේසකරයන් හා එහි දේවදත්ත චරිතය නිරූපණය කරන පාලිත සිල්වා සමග සිදු කළ සංවාද සටහනයි.

අතීත සිදුවීම් තුළින් වර්තමානයට 
ආමන්ත‍්‍රණය කිරීමක් 

සනත් අබේසේකර 






රංගන ශිල්පියෙක්, පුවත්පත් කලාවේදියෙක් වූ ඔබ සිනමා අධ්‍යක්ෂකයෙකුගේ භූමිකාව භාරගත්තේ කොහොම ද? 

මම කලා ක්ෂේත‍්‍රයට ඒමට පෙර වේදිකා නාට්‍ය කරන අවදියේ සිටම සිනමාව පිළිබඳ හැදෑරීමක් කළා. මම මුලින්ම රූපවාහිනිය පිළිබඳ හැදෑරීමක් කළා. ඒ කතෝලික සංගමය ම`ගින් මෙහෙයවන ලද සිනමා හා රූපවාහානී පාඨමාලාව. නමුත් සිනමාවට ප‍්‍රවිෂ්ඨ වීමට තරම් මට අත්දැකීම් තිබුණේ නෑ. ඉන් පසු මම ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට දායක වුණා. මේ වන විට ටෙලි නාට්‍ය 32ක, තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. ඊට පස්සෙ තමයි මම සිනමා ක්ෂේත‍්‍රයට ප‍්‍රවිෂ්ඨ වෙන්නේ. 

ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක්. බුදු පහසින් පිදුම් ලද, සර්වඥ ධාතූන් වහන්සේලා වැඩවසන පිංබිමක්. ඉතින් මේ බෞද්ධ රටේ නිර්මාණය වන සිනමා නිර්මාණ තුළ යම් අඩුවක් දැක්කා.  ඒ තමයි මේ පිංබිම වෙනුවෙන්, අපේ බුදු හාමුදුරුවෝ වෙනුවෙන් සිනමා නිර්මාණයක් බිහි නොවීම. අපේ බුදු හාමුදුරුවෝ වෙනුවෙන් නිර්මාණ කළ යුතු බව සිතා මම ලොකු කැපවීමක් කළා. මහින්දාගමනය තිර පිටපත ලියන්න මම 67 වතාවක් කළුතර හා සුමන සමාධිය අසල සිල් සමාදන් වුණා. මම තිර රචනය සිදු කරන්න බුද්ධ ශක්තියේ වරම් ඉල්ලූවා. සත්තකින්ම මහින්දාගමනය තිර පිටපත ලියවුණේ ඒ භාවනාවෙන්. පසුව ආශ්චර්යකින් වගේ මහා සංඝරත්නයේ ආදාරය හා උපකාරය නොමදව ලැබුණා. පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්, රුවන්වැලි සෑ නායක පල්ලේගම හේමරතන හිමියන්, උඩුවේ ධම්මාලෝක හිමියන් ගේ මෙන්ම තවත් බොහෝ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය මගේ සිනමා නිර්මාණයන්ට විශාල පිටුවහලක් වුණා. 

ඓතිහාසික කතා අතර මහරජ අජාසත්ත නිර්මාණයට පදනම වැටෙන්නේ කොහොම ද?

ඇත්තෙන්ම මම, මහින්දාගමනය, සිරිදළදාගමනය, අනගාරික ධර්මපාල වැනි නිර්මාණ සිදු කළේ අප මහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. නමුත් මම මහරජ අජාසත් සිනමා නිර්මාණය සිදු කරන්නේ මෙය අද සමාජයට හොඳින් ගැලපෙන නිසා. අද දවසේ දෙමාපිය ¥ දරු සම්බන්ධය මෙන්ම පිය පුතු බැඳීම් යම් තර්ජනයන්ට ලක් වූ අවස්ථාවන් විටින් විට හමු වුණා. බුදු රජාණන් වහන්සේ වැඩසිටි සමයේත් මේ දේවල් මේ ආකාරයටම සිද්ධ වුණා. අදත් එහෙමමයි. අනාගතයේදීත් මේ දේවල් මේ ආකාරයටම සිද්ධ වෙයි. ඒ හේතුව නිසා තමයි අතීත සිදුවීම් තුළින් වර්තමානයට ආමන්ත‍්‍රණය කිරීමක් ලෙස මහරජ අජාසත් සිනමා නිර්මාණය සිදු කරන්නේ.

නිර්මාණාත්මක බව, අජාසත්ත සිනමා නිර්මාණය තුළ ඔබේ සෙසු සිනමා නිර්මාණවලට වඩා පවතින්නේය යනුවෙන් පැවසුවොත් ඔබ ඊට එකග ද?

මම මගේ නිර්මාණ හතරෙන්ම තෘප්තිමත්. මම හිතනවා මම ඒ නිර්මාණ තුළින් පේ‍්‍රක්ෂකයා තුළ යම් ශ‍්‍රද්ධාවක් ඇති කළාය කියලා. මහා සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායි ප‍්‍රකාශ කළේ, ”සිනමාකරුවෙකුට පේ‍්‍රක්ෂකයා සිනමා ශාලාවට ගෙනැවිත් හැ`ඩවිය හැකිනම්, ඔහු අති දක්ෂ සිනමාකරුවෙක්.” ඇත්තටම මම ඔහුගේ ප‍්‍රකාශයට එක`ග වුණා. සිනමා නිර්මාණය තුළින් මම පේ‍්‍රක්ෂකයා ශ‍්‍රද්ධාවට පත් කළා. ඔවුන් සංවේගයට පත් කළා. මම හිතනවා මම සාර්ථකයි කියලා.
රංගන ශිල්පීන්ගේ දායකත්වය ඔබට ලැබුනේ කෙසේ ද?
ඇත්තෙන්ම ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය අති විශිෂ්ටයි.
ඓතිහාසික කතා ඉදිරිපත් කිරීමේදී ඔබ සැලකිලිමත් වූයේ, ඉතිහාසය ප‍්‍රතිනිර්මාණයක්. එය ඉතා සාර්ථකයි. නමුත්  ඉන් එහා ගිය සමාජ ආර්ථික දේශපාලන යථාර්ථයක් මින් නිරූපණයට ම`ග පෑදිමක් පිළිබඳ ඔබ සිතුවේ නැද්ද?
ඇත්තටම මගේ සිනමා නිර්මාණයන් ගේ අරමුණ මිනිසා ආනන්දයෙන් ප‍්‍රඥාවට පත් කිරීමයි. මම ගොඩාක් දේවල් මගේ නිර්මාණයෙන් ගෙන ඒමට අපේක්ෂා කරන්නේ නෑ. මගේ නිර්මාණවල එකම අරමුණ මගේ බුදු හාමුදුරුවෝ. මම මගේ බුදු හාමුදුරුවන්ගේ දේශනා කළ සද්ධර්මය ගැන හොදින් තේරුම්ගත් කෙනෙක්. මිනිස්සු  ජීවත් වෙද්දි පව් කරන්න බයයි. සිනමාව, සංගීතය, සංදර්ශන වැනි අවස්ථාවලදී අනන්ත අප‍්‍රමාණ ලෙස පව් සිදු වීමට ඇති අවස්ථා වැඩියි. මගේ නිර්මාණ හතරෙහිම මම අපාගත වීමට වැඩ කරලා නෑ. මගේ නළු නිලියන්ට අපාගත වීමට වැඩ සිදුකරලා නෑ.

මහරජ අජාසත්
කාලෝචිත නිර්මාණයක්

පාලිත සිල්වා





සනත් අබේසේකර මහතා සමග සිනමා නිර්මාණයන්හි කටයුතු කළ පළමු අවස්ථාව නොවේ. අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔහුගෙන් ලද දායකත්වය 
කෙබදු ද?

ඇත්තටම ඔහු සම්පූර්ණයෙන්ම අපිට නිදහස ලබා දුන්නා. මුලින්ම ඔහුට අවශ්‍යකරන දේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඔහු ගේ මෙහෙයවීම මෙන්ම නළු නිළියන්ට ලබා දෙන නිදහස රංගනය සාර්ථක කර ගැනීමට බලපානවා.

මහරජ අජාසත්ත නිර්මාණය පිළිබද ඔබට හැෙගන්නේ කුමක් ද?

කාලෝචිත නිර්මාණයක්. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා ගේ නිර්මාණයන්ගේ පවතින්නේත් සිංහල බෞද්ධ පසුබිමක්. එම නිර්මාණ තමයි පසු කාලීන සම්භාව්‍ය නිර්මාණ බවට පත් වෙන්නේ. 

මහරජ අජාසත් මීට පෙර සිනමාවට නැගුනා. ඒ කළු සුදු නිර්මාණයක් ලෙසයි. වර්ණ මාධ්‍යයෙන් සිදු කිරීමේ යම් වටිනාකමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩිජිටල් මාධ්‍ය තුළින් පෙරට වඩා ප‍්‍රකාශන හැකියාව ප‍්‍රබල වෙලා තියෙනවා. මහරජ අජාසත් සිනමා නිර්මාණයේ එන ගල් පෙරළන දර්ශන, පොළව පළාගෙන යාම්, ඉන්ද්‍රජාලික සිදුවීම් ඉතා චිත්තාකර්ෂණීය ලෙස ගෙන ඒමට හැකි වුණා. මට හැෙගන ආකාරයට ජාතක කතාව කියවන විට පාඨක සිතේ මැවෙන සිදුවීම් මේ සිනමා නිර්මාණය තුළින් පේ‍්‍රක්ෂක නෙත් මානයට ගෙන ඒමට හැකි වී තියෙනවා.  

සෙසු චරිත අතර, මහරජ අජාසත්ත සිනමා නිර්මාණය තුළ දෙව්දත් තෙරුන්ගේ රංගනය හැදෑරීමකින් අනතුරුව සිදුවිය යුත්තක්. ඔබ එහි දී සාර්ථකයි. ඒ සදහා ඔබ සිදු කළේ කුමක් ද?

ඇත්තෙන්ම මෙම සිනමා නිර්මාණය ගැන සනත් මුලින්ම මට කතා කරන විට මට ඒ ආරාධනාව ප‍්‍රතික්ෂේප කරන්න සිදු වුණා. ඒ මට විදෙස් රටක යෙදී තිබුණු රූගත කිරිමක් හේතුවෙන්. ඒ හේතුවෙන්, මේ චරිතය [දෙව්දත් තෙරුන්] සිදු කිරීමට සහෝදර ශිල්පීන් කිහිපදෙනෙකුට ආරාධනා කලා. ඔවුන් තුළ යම් බිය වීමක් දක්නට ලැබුණා. නමුත් පසුව එම ගමන ප‍්‍රමාද වීම හේතුවෙන් මම මේ නිර්මාණය භාර ගත්තා. 
ඇත්තටම ඔහුගේ තිර නාටක තුළින් මා දුටු දේ තමයි, දේවදත්ත චරිතය විවිධ හැගීම් පරාසයන් තුළින් ඉදිරියට ගමන් කරන චරිතයක් බව. මේ හේතුවෙන් දේවදත්ත චරිතය ර`ගපෑමට ක‍්‍රමවේදයක් සොයා ගැනීමට සිදු වුණා. එය සිනමා රසිකයන්ට දැනෙන ආකාරයේ රංගනයක් විය යුතුයි. එනම් මෙහිදී Method Acting එහෙමත් නැත්නම් යම් විධි ක‍්‍රමයක් භාවිත කළ යුතු වුණා. නරක චරිත හෝ හොද චරිත අපි ඒ චරිතයට ආදරය දැක්විය යුතුයි.  මම විශ්වාස කරන දේ තමයි චරිතය කුමක් වුවත් එයට ආදරයෙන් හොද කැපවීමකින් කළ යුතු බව.

Tuesday, August 11, 2015

දෙ ඇස


පුරුෂයා, ගෘහ මූලිකයා, පුරුෂාධිපත්‍ය සැබැවින්ම මේ කුමක්ද? ස්තී‍්‍රත්වය හෙවත් ස්තී‍්‍ර සැබැවින්ම කවුරුන්ද? ඉතා සුළු ඉඩකදි වුවද සැළෙන හදවතක් ඇති, සියුම්, බොලඳ, මෘදු වස්තුවක් ලෙස සලකන ඇය හුදෙක් පිරිමින්ගේ ජීවන තෘප්තිය වෙනුවෙන් තම සේවා සපයන සේවිකාවන්ද? එසේත් නැත්නම් දර්ශනයෙන් සිත දුෂණවන, ස්පර්ෂයෙන් ධනය විනාශවන, සයනයෙන් මරණය හිමිවන කාන්තාව ඇත්ත වශයෙන්ම රකුසියක්ද? ස්ති‍්‍රය හා පුරුෂයා එකිනෙකට සමාන්තරව පිහිටා ඇත්තක් වුවුද මෙහි දිශානතීන් සංස්කෘතිය හා සදාචාරය විසින් උඩු යටිකුරු කොට ඇත. 

දේශපාන වේදිකාවේ කාන්තාවන්ට 25%ක නියෝජනයක් අවශ්‍යව ඇත. විවිධ කාන්තා සංවිධාන මේ වෙනුවෙන් හඩ නැගීම සිදුවෙමින් පවති. කාන්තා සංවිධානයක් වන Mothers and Doughters of Lanka සංවිධානය දේශපාලනයේ කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර ඇත. ”කාන්තාව දේශපාලනයට ඇලජික්ද?”,”දේශපාලනය කාන්තාවට ඇලජික්ද?” යනුවෙන් නිදහස උදෙසා කාන්තාවන්ගේ සැමරුම් සංවිධානය තම පෝස්ටර් හි දක්වා ඇත. 
සැබැවින්ම මේ කුමක්ද? සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඇය හා ඔහු , ඇය හා ඔහු දකින ආකාරය ඇය හා ඔහු ගේ ඇසින්. අසිමාන්තික සිතිවිලි වාරණය නොකට සිතිවිල්ලෙන් සිතිවිල්ල පිරික්සන දෙ ඇසයි.

ඇය

සුරක්ෂිත නොවූ ලෝකයක් තුළ බිය සැක මැද දිවි ගෙවිමට විම යනු කුමක්ද? එදා කාන්තාව නිවසින් පිට නොයයි. පියා, සැමියා, වැඩිමහල් පුතු ඇය ගේ රැුකවරණය විය. සැමියා ගෙනැවිත් දෙන දෙයක් ආහාරයට ගනිමින් ඔහුගෙන් යැපෙන ඇය අද පවුල තුළ පමණක් නොව ආර්ථිකයේද සුවිශේෂී වූ කොටසකි. විදේශගතව සිටින බහුතරය කාන්තාවන්ය. රටේ ආර්ථිකයට ඔවුන්ගෙන් වන මෙහෙයට ඇගයුම් නැත. සංස්කෘතිය සමාජ ක‍්‍රමයේ යම් හැඩයක් නිර්මාණය කර ඇත. නමුත් එය ජීවන ක‍්‍රමයන්ට, නිසි තැන නිසි ගෞරවය ලබා දීමට බධාවක් නොවිය යුතුයි. 

ස්තී‍්‍ර දුෂණ, ළමා අපචාර දිනෙන් දින වැඩි වී ඇත. වාර්තාවන ¥ෂණ අපචාර අතර වාර්ථා නොවන සිදුවීම් අනන්තවත් ඇත. විටෙක ඒවා පවුල වෙනුවෙන් හෝ අපචාරයට ලක් වු ඇය වෙනුවෙන් වාරණය කර ඇත. විටෙක එහි වරදක්ද නැත. ඒ ආකර්ෂණිය වාර්තාකරණයක් තුළින් ඇයට හිමිවන කිසිවක් නොමැති බැවිනි. අද පුවත් නිර්මාණය වන්නේද කාන්තාවගේ සිරුර අලෙවි කරමින්ය. මියගොස් ඇති සියලූ දැරියන් සුදුය. ආකර්ෂණීයයය. විටෙක අධ්‍යාපන මට්ටමින්ද සෙසු දරුවන් හා සසදන කළ ඉහළින් සිටි. ශිර්ෂ පාඨ වලින් කියවෙන ඇය පිළිබඳ  පොදු නිර්වචනයක් අප මනසෙහි ඇත. මේ කුමක්ද? පුවත් මැවීම හා පුවතෙහි වටිනාකම උදෙසා සිදුකරුනු ලබනදේ පමණක්මද? අද රූපවාහිනිය තුළ සියළු බඩු විකුනණු ලබන්නේ ඇයයි, නිවසෙහි රැුකිය යුතු වස්තුවක් ලෙස සලකන ඇය මුදල වෙනුවෙන් සිය ශ‍්‍රමය, රූපය හා චරිතය විකුණන තුරු පිරිමින් මුනිවත රකියි.

ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ වන ස්තී‍්‍රය ලෝකයේ වැඩ පැය වලින් තුනෙන් දෙකක් නිම කරණු ලබයි. අප රටේ සාම්ප‍්‍රදායික ගැමි ස්තී‍්‍රන්ගෙන් 70%කටත් වඩා වන ගැමි ස්තී‍්‍රන් ආහාර නිශ්පාදන කි‍්‍රයාවලියේ තිරණාත්මක කාරයභාරයක් ඉටු කරනු ලැබූ බව පැවසුවත් ඔවුන් මේ සදහා වැය කරන ශ‍්‍රමයට සාධාරණත්වයක් ඉටු වි නැත.
වෘත්තීය තුළ පිරිමින්ගේ අතවරවලට ගොදුරු වීම්, වෙහෙසකර බව, පීඩාකාරි බව, නිදහස රහිත බව, ආත්ම ගරුත්වයට හානි සිදුවීම්, ඇනුම් බැනුම් ඉවසන ඇය ලැබෙන වැටුපෙහි සාධාරණ අසාධාරණත්වයන් සෙවිමට නොයයි.

ප‍්‍රඥප්ති ප‍්‍රකාශන සේම නීති රීති රෙගුලාසි මොනවා තිබුණත් නාගරික හා ග‍්‍රමීය දෙපැත්තෙන්ම දිනෙන් දින බාල්දුවිමත් ඒ හා සමගම සූරාකෑම් සිදුවන ආකාරයත් දැකිය හැකිය.

කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිමට කාන්තාවන් අවශ්‍යව ඇත. ලෝක පැවැත්මට ඇගේ මාතෘත්වය අවශ්‍යව ඇත. වෘර්ත්තිය තුළ ඇගේ මාතෘත්වය විසින් ඇය පසෙකට තල්ලූ කර ඇත. ගැබ් ගැනිම්, ප‍්‍රසූත නිවාඩු හා කිරි පැය වෘත්තිය බාධා සේ සලකයි. දිගින් දිගට හිංසනයට පත්වන ඇය වෙනුවෙන් පෙනී සිටියහැකි පිරිසක් අවශ්‍යව ඇත. පාර්ලිමේනිතුවෙහි ඇයට බලයක් අවශ්‍යව ඇත. එයට ස්තී‍්‍රත්වය බාධාවක් නොවිය යුතුය.

අනූෂා රාජපක්ෂ

Wednesday, August 5, 2015

අවසන් පැතුම




හිනැහෙන්නට සිතක් දෙන්න
සිතිවිල්ලක් නැති සිතකට

සැනසෙන්නට ඉඩක් දෙන්න
සැනසීමක් නැති දිවියට

ලතැවෙන්නට ඉඩ දෙන්න
තැලූණ සිතක් සනසවන්න

සිතිවිල්ලට ඉඩක් දෙන්න
දුටු සිහිනය යළි දකින්න

හැර යන්න ඉඩක් දෙන්න

නිම නොවනා මේ දිවියේ

Wednesday, July 22, 2015

ඔහු ද ලක්ෂපති? ඔබ ද ලක්ෂපති?





රූපවාහිනී ආගමනයත් සමග සමාජයේ විවිධ වෙනස්වීම් සිදු විය. මුල් යුගයේ රුපවාහිනී ආගමනය හැදින්වූයේ රූප හා ශබ්ද මාධ්‍යයේ දුර්වල ඥාතියෙකු ලෙස යි. තව ද රූපවාහිනිය විවිධ අන්වර්ථ නම් වලින් හඳුන්වනු ලැබිනි. ඒ යකාගේ පෙට්ටිය, හූනියම් පෙට්ටිය යනාදි වශයෙනි. රූපවාහිනිය එල්ල වූ චෝදනා රැුසක් පරිගනකය, අන්තර්ජාලය හා Face book  අතර සමසේ බෙදී ගොස් ඇත. 

අනාරාධිත අමුත්තෙකුට වුවද හොදින් සංග‍්‍රහ කිරීම අපේ ඇත්තන්ගේ ඉතා හොද පුරුද්දකි. ආගන්තුක සත්කාරයෙන් අපි තරම් දක්ෂ ජාතියක් තවත් නැත. ඒ නිසාම රූපවාහිනිය ගුවන් විදුලිය මගින් ලබා දෙන සියල්ල සතුටු සිතින් වැළද ගැනීම හා ඒ සම`ග ජීවත් වීම අපේ සිරිතක් වි ඇත. ලක්ෂපති වැඩසටහන් සංස්කෘතිය අපේ රටේ එක් කාලයක් උන්මාදයට පත් කළ වැඩසටහනක් හා ගොඩ නැගුණ සංස්කෘතියකි. මෙහි ආරම්භය 1998 බි‍්‍රතාන්‍යයේදී සිදු විය. එය ”ගේම් ෂෝ” නම් විය. Who want to be a millionair යන ශීර්ෂය ඔස්සේ ආරම්භ වූ මෙහි පළමු ත්‍යාග මුදල බි‍්‍රතාන්‍යයේ පවුම් මිලියනයක් විය. බටහිරින් ආරම්භ වූ මේ සංස්කෘතිය අද වන විට තුන් වන ලෝකයේ රට වල වඩා ජනපි‍්‍රය වී ඇත. එපමණක් නොව මෙය ජනපි‍්‍රය සංසකෘතියේ අංගයක් බවට පත්ව ඇත. මෙහි යටි අරමුණු රැසක් පැවතිය ද sms කිරීම් call  කිරීම් දැන් මිනිසුන්ට අරුමයක් නොවේ. පොදුවේ බුද්ධියට තැන දෙමින් අරඹන මෙම වැඩසටහන් වල ඉලක්ක ග‍්‍රාහක පිරිස මුලූ මහත් සමාජයම නියෝජනය කිරීමට සමත් වේ.

 නමුත් අද වන විට රූපවාහිනිය නැරඹිම, ගුවන් විදුලියට සවන් දීම, ඒ හා ගණුදෙනු කිරිම කිසිවෙකුට බැලූ බැල්මට පාඩුවක් නැත. සැබැවින්ම මේ උපකරණ ධන නිධානයන් වී ඇත. උදෑසනට, මද්දහනට, රාතී‍්‍රයට වෙන වෙනම නිධානයන් මතු කරවන ගුවන් විදුලියේ කනට අල්ලස් දීම, අද ගුවන් විදුලි මාධ්‍ය අතර තරගයක් වී ඇත. මතුපිටින් මේ දෙස බැලූවෙකුට හෝ එක් දිනක් ගුවන් විදුලියට සවන්දුන් අයෙකුට මේ සූදුවේ රස දැනෙන්න පටන් ගනියි. දිවයිනේ විවිධ ස්ථානයෙන් විවිධ වූ ජයග‍්‍රහක ජයග‍්‍රාහිකාවන් මතු වෙයි. බඩු මලූ, සල්ලි මිටි, තෑගි ලැබුණු ඔවුන් විටින් විට ගුවන් විදුලියෙන් කතා කරමින් එම සේවයට සුභ පතයි. ගුවන් විදුලිය ඇසීම පමණක් නොව එහි ශබ්දය පිළිබඳවත් අසන නාළිකාවේ නම සටහන් කර තැබීම පිළිබඳවත් අද ඒ ඒ නාළිකාවන්ගේ පිරිසට වඩා හොදින් ජනතාව දනිති. තම නිවසටත් දිනෙක පැමිණ බඩු මලූ, සල්ලි මිටි, තෑගි ලබා දී යනු ඇතැයි අපේක්ෂාවෙන් තව තවත් බෝඞ් ලෑල්ල අලූත් කරයි. ගුවන් විදුලි යන්ත‍්‍රයේ ශබ්දය වැඩි කරයි. සබැවින්ම දිනන්නේ කවුද? ගුවන්විදුලි නාළිකාවනගේ අපේක්ෂාව ජනතාවගේ ජීවන තත්ත්වය වඩා වර්ධනය කිරීම ද? එසේත් නැත්නම් සෙසු නාළිකාවන් අතර ප‍්‍රමුඛයා වීමටද? ඔවුන්ගේ සෙල්ලම් අතර සාමාන්‍ය රසිකයින් ඉත්තන් වී ඇත.

රූපවාහිනිය කෙදිනකවත් ගුවන් විදුලියට දෙවෙනි නොවෙයි. ගුවන් විදුලියේ මෙන් කුඩා ගණුදෙනු නැත. ඔවුන්ගේ ගණුදෙනුව ආරම්භ වනනේ රුපියල් ලක්ෂ ගණනින් ය. එසේත් නැත්නම් රන් පවුම්, රන් දම්වැල්  ලබා දීමේ අරමුණිනි. ඇත්තු පවා රූපවාහිනිය නැරඹීමෙන් ලබා ගත හැකි බව පසුගිය දිනවල ඔබට වැටහෙන්න ඇති. අද දිනයේ දියුණු වීම එතරම් අපහසු නැත. විටෙක ඒ සදහා ඔහු හෝ ඇයට කැප කිරීමට සිදු වන්නේ රූපවාහිනිය නැරඹීමට ගත වන කාලය පමණි. 

ලක්ෂපති වීම මුදලට පමණක් සීමා නොවේ. රූපවාහිනී ගුවන් විදුලිය මගින් පෙන්වන, අසන සියල්ල තුළින් ඒ ඒ ආයතන ලාභ පාඩු ලබයි. ඔවුන්ගේ ලාභ, ජනපි‍්‍රයත්වය, සම්මාන හා වාර්ථා අතර ඔබ කොතැන ද?

එකම ආකෘතියට නිර්මාණය වූ ටෙලි නාට්‍ය පෙළක් කොහෙන් හෝ ඇහිද ගැනීමට අද රූපවාහිනී නාළිකා සමත් වෙයි. පොහොසත් පෙම්වතා හා දුප්පත් පෙම්වතිය හෝ පොහොසත් පෙම්වතිය හා දුප්පත් පෙම්වතා හැරෙන්නට මේ ටෙලි නාට්‍ය තුළ ඇති දෙයක් නැත.  දෙමාපියන්ට රහසින් ගෙනයන මොවුන්ගේ පෙම් සටන දිනවීමට අපේ අම්මලා, ආච්චි අම්මලා, තාත්තලා හා ලොකු අයියලා සතියේ දවස් 05ක් තුළ පැය 2.30 පුරාවට සටන් කරයි. ඔවුන් නිතැතින්ම ලබා ගන්නේ අර බොලද පෙම්වතුන්ගේ පැත්ත යි. ටෙලි නාට්‍ය අවසාන වෙයි. පියවි ලොවට පැමිණෙන ඔවුන් තම දුව පුතා යහමගට යැවීමට සටන් කරයි. මේ සටන පෙර සිදු කළ සටනට වඩා වෙනස් ය. නමුත් ඒ වන විට දරුවන් පෙර සටනින් පන්නරය ලබා සිටී. මව්පියන් ප‍්‍රමාද වැඩියි.  මෙහිදී ද ඔවුන් තම ගුවන් කාලය සාර්ථක කොට ගෙන ඇත. ඔවුන් තම ආදායම් වාර්තා තබා ඇත. නමුත් ඔබ කොතැන ද?

විටෙක සමහර ටෙලි නාට්‍ය රාතී‍්‍ර 9.30ට විකාශනය වීම පිළිබද අපි සතුටට පත් වෙමු. මන්ද කුඩා දැරියක් මූලික කර ගත්ත ද, මෙහි අන්තර්ගතය වැඩි හිටියන්ට වඩාත් උචිත ලෙස සකස් වි ඇති බැවිනි. නමුත් රාතී‍්‍ර 9.30ට විකාශනයෙන් තෘප්තිමත් නොවන මොවුන් විවේකී ඉරිදා දිනයේ ත් සෑම සතියේ දිනකම උදෑසන ත් යළි යළිත් මේ ටෙලි නාට්‍ය පුනර් විකාශය කරයි. මේ කටයුත්ත මෙලෙස සිදු වුවහොත් සාමාට මල් කඩා දුන් අමර, ”අද සාමලා සතුටු වන්නේ මල් වලින් නොව රෝමෑන්ටික් වීමෙන් යැයි”, සිතා රොමෑන්ටික් විමට බැරි නැත. 

 ගුවන් විදුලි, රූපවාහිනි මගින් විවිධ දේ ලබා දෙයි. විවිධ දේ පෙන්වයි. මුදල් හා ත්‍යාග අපේක්ෂාවෙන්  අපි නිරන්තරයෙන් ඔවුන් හා සිටී. විටෙක රූපවාහිනී තිරයේ යටින් දිස්වන රූපය ඔබේ ජීවිතයේ වැදගත් අංගයකි. ජයග‍්‍රහනය කළ පිරිස් මාධ්‍ය ඔස්සේ පවසන්නේ පවුලේ සියලූ දෙනා එක් වී රූපවාහිනී නැරඹූබවයි. ගුවන් විදුලිය ඇසීම ඔවුන්ගේ පුරුද්දක් වී තිබුණු බවයි. කෙසේ හෝ ඔවුන් ලද ජයග‍්‍රහණය හේතුවෙන් නරඹන අපිටත් ජයග‍්‍රහණය කිරීමට ආරාධනා කරයි. මේ ජයග‍්‍රහණ පසු පස අපි විශාල වේලාවක් නාස්ති කරගෙන ඇත. ඒ ගෙවුනු කාලය යළි නො එනු ඇත.  නැරඹු ඇසූ දේ කොයිතරම් යහපත් ද, වැඩදායක ද යන්න ඔබ විසින් බුද්ධියෙන් විමසිය යුතු ප‍්‍රශ්නයකි. සබැවින්ම මෙහිදී මා හට මතු වන ප‍්‍රශ්නයක් ඇත. ඒ ලක්ෂපති වන්නේ ඔහු ද? ඔබ ද? යන්නයි.

Monday, July 13, 2015

වගේලූ











හිනා වෙනකොට මං අම්මා                   වගේලූ
තීරණ ගන්නේ තාත්තා                         වගේලූ
කතා කරනකොට අක්කා                      වගේලූ
මේ හැමදේම මං හොද                         හින්දලූ

ඒත් 

අඩන දුක්වෙන මං           මං                 වගේලූ 
අයිතිකාරයෙක් නෑ           මං                වගේලූ
තරහා ගියාම මං වගේ කවුරුත්                 නෑලූ
ඒවා මගේම නිර්මාණ                           වගේලූ

සදා නොමැකෙන හදවත රත්තරන් ජෝතී







වෙනස්වන බොහෝ දේ අතර සදා අනුස්මරණිය දේ මේ මනු ලෝ තුළ නිතර හමු නොවෙයි.

පතනා දේ සුන් වේ නම් - නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි  - බලන් සිත් යොමන්

ඔහු ගැයූ ගී සුවහසක් රසික සිත් තවමත් අමන්දානන්දයට පත් කරයි. අද ද ඔහු ගේ ගීත රසවිදියි. 1936 පෙබරවාරි 12වන දින උපත ලැබු H.R  ජෝතිපාල, ජන හද දිනා ගත්තේ ”හදවත් රත්තරන්” ජෝති යනුවෙනි. මොහු ගේ සම්පූර්ණ නාමය හෙට්ටි ආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල නම් විය.  මොහු සිංහල සිනමාවේ ජනපි‍්‍රය පසුබිම් ගායකයෙක් විය.

ලොව සුන්දර දේ නොපෙනේ නම් - දෑසක් කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම් - දෙසවන් කුමකට ලැබුණාදෝ” 
, අප දෙසවන් ලැබීම පිළිබඳ දුක් නොවන පිරිසකි. මන්ද ඒ සුන්දර රුව දක්නට පින් නොකළද, සවන් ලද පිනෙන් අප ඔහු රස විදිනු ඇත.
1956 දී සිරිල් පී. අබේරත්නගේ ”සුරතලී” චිත‍්‍රපටය සඳහා ”සිරියා මේ සාරා” ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. ඉන් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ ”වාහිනී” චිත‍්‍රාගාරයේ ජනප‍්‍රිය ගීත රැුසක්ම ගායනා කළේය. ජෝතිපාල ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී අද්විතීය චිත‍්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ”සන්දේශය” චිත‍්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. මේ සඳහා ප‍්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ ”පෘතුගීරිසිකාරයා” ගීතය ගායනා කළේය. තවද ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප‍්‍රිය චිත‍්‍රපටද ඇතුලත්ව චිත‍්‍රපට ගණනාවක් සඳහා ගීත ගායනා කළේය. ගීත ගායනයෙන් නොනැවතුනු මොහු ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත‍්‍රපට සඳහා චරිත නිරූපනයෙන් දායක විය.

හැත්තෑව හා අසූව දශකය වන විට සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප‍්‍රසංගයක් අංග සම්පූර්ණ නොවීය. ඔහු රසික සිත් සතන් අමන්දානන්දයට පත් කළ ගායකයෙක් විය. ඔහු ගේ හ`ඩ ජව සම්පන්න විය. ඔහු සැබැවින්ම හිත හොද මිනිසෙකි. මේ රත්තරන් ජෝති 1987 ජූලි මස 07වන දින සමු ගෙන වෙන්ව ගියේය. ඔහු වෙන්ව ගොස් වසර 28ක් සපිරෙයි. නමුත් හිස් අහසේ ගෑවෙන තරමට ඔහු විසින් බැඳි ගී සෑය තවමත් ඉහළට එසවී ඇත.