Thursday, March 17, 2016

අද තරුණ පරපුර ජීවිත පටන්ගන්නේ
ආදරයෙන් නෙමෙයි
රාගයෙන්
ප‍්‍රවීණ ගීත රචක සුනිල් ආර් ගමගේ

පිවිතුරුය පළමු පෙම - බිහිසුණුය බිඳුණු දිනළෙන්ගතුය සුවඳ ඔබ - සුදු හාමිනේ.................

බිදුණු පෙමින්, රිදුණු සිතින් යුතු ඔහු වෙන්ව ගිය ආදරියට තවමත් සුදු හාමිනේ යැයි අමතයි. ඒ සැබෑ ආදරය එහි තිබූ නිසා වෙන්ය. අම්මා ලෙඩක් දැම්මත්, තාත්තා ලෙඩක් දැම්මත් වස බොන, මට බෑ ඔහු කීවත් වස බොන යුගයක ඔහු ලියූ ගී ආදරණීයයි. ඒ ප‍්‍රවීණ ගීත රචක සුනිල් ආර් ගමගේ මහතා. 
  • ඔබව ගීත රචකයෙකු විදිහට හඳුන්වනවාට කැමති ද? නැත්නම් ඒ පිළිබඳව ආඩම්බර ද?


ඇත්තෙන්ම ආඩම්බරයි.

  • මේ දවස්වල ඔබේ දෙසවනේ දෝංකාර දෙන්නේ  මොනවගේ ගීත ද?

මේ දිනවල ගීත අහනවා නම් ගොඩාක් අඩුයි. දෙසවනේ දෝංකාර දෙන්න තරම් ගීතයක් ඇහෙන්නේ නෑ. ඒ නිසා උවමනාවෙන් ගීතයක් වාදනය කරලා ගෙදරදී ගීතයක් ඇහුවොත් මිසක් අපේ ජාතික නාළිකාවලිනුත් හොඳ ගීත වාදනය වනවා අඩුයි. ඒ නිසා මේ දිනවල මගේ සවන් මත දෝංකාර දෙන ගීතයක් එකපාරටම හිතට එන්නේ නෑ.

  • කැමතිම ගීතය මතක් කළොත්?

මම ලියපු ගීතවලින් කැමතිම ගීතය, ”මහ පිරිතක් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්” යන ගීතයට. මගෙන් බාහිරව ගීතයක් ගත්තොත් මම හරි කැමතියි කුලරත්න ආරියවංශ මහතා ලියපු, අමරදේව මහතා ගායනා කරන ”සඳ හොරෙන් හොරෙන්” ගීතයට.

  • ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?

ඒ ගීතවල ගැබ් වෙලා තියෙන සෞන්දර්යාත්මක බව පේ‍්‍රමණීය බව බොහොම වටිනවා. අද තරුණ පරපුර ජීවිත පටන්ගන්නේ ආදරයෙන් නෙමෙයි. එහි මූල බීජය වෙන්නේ රාගය. ඉතිං හොද ආදර ගීතයක් නිසා මම ”සඳ හොරෙන් හොරෙන්” යන ගීතයට කැමතියි. ”මහ පිරිතක් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්” ගීතය මගේ ජීවිත එක්ක බැªණු ගීතයක්. ඒ මගේ පුතයි මගේ බිරිදයි මේ රටින් ටික කාලෙකට වෙන්ව ගිය දිනවල පි‍්‍රය විප‍්‍රයෝගයේ ඇති දුක තදින් දැනුන මොහොතක මේ ගීතය මගෙ අතින් ලිය වුණා.
  • අද වත්මන් පරපුර ගීත අහනවා ද? වත්මන් පරපුර තුළ ගීත අහන සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා ද?

ඇත්තෙන්ම නැහැ. මොකද ගීත අහන සංස්කෘතියක් හැදෙන්න, ගීත ඇහෙන්න සලස්සන්න එපෑයෑ. 70 දශකයේ අපිට තිබුණු එක ගුවන් විදුලි නාළිකාවෙන් ඔය කියන දේ හරි අපූරුවට සිද්ධ වුණා. අද නාලිකා වැඩියි. නමුත් හොද ගීත ඇහෙන්නේ නැහැ. ඉතින් කොහොමද ගීත අහන සංස්කෘතියක් බිහිවෙන්නේ.
  • අද අලූත් පරපුරේ පද රචකයින්ගේ ගීතවල ගුණාත්මක භාවය, සාහිත්‍යමය අගය, පිළිබද ඔබේ තක්සේරුව කොයි වගේ ද?

මගෙන් පසු පරපුර ගත්තාම සුභාවිත ගීතය වෙනුවෙන් 
පෙළගැසුණු නව ගීත රචකයින් සමූහයක් ම ඉන්නවා. රවී සිරිවර්ධන, අසංක රුවන් සාගර, අමිල තේනුවර, සමුද්‍ර වෙත්තසිංහ, සුදත් සෝමවීර, ශ්‍යමිලා හුසේන් වැනි තරුණ පරපුරක් මේ ස්වභාවික ගීතය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ඔවුන් ගේ ගීත සඳහා අපට තිබුණු වේදිකාව නැහැ. 
මම මුල් කාලයේ ”නව පද මාලා” නම් වූ වැඩසටහනකට ගීත ලීවා. ගුවන් විදුලි ගීත රචකයින් වෙනුවෙන් එවැනි වැඩසටහන් තිබුණා. ඒ වගේම ”මියුරස වින්දන”, ”මධුවන්ති” වැනි වැඩසටහන් තිබුණා. ඒ වගේ වැඩසටහන් ගුවන් විදුලි ගීත රචකයින්ට හොඳ පන්නරයක් වුණා. නමුත් අද ඒ කිසිවක් නෑ. ඒ දීපු තල්ලූව අද ඉන්න සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටින ගීත රචකයින්ට ලැබෙන්නේ නෑ. නමුත් මුදල් මත, නාලිකාවන්හී අවශ්‍යතාව මත, රිගිං ටෝන් සඳහා ගීත රචනා කරන සාහිත්‍යධරයන් නැති බොහොම ළපටි වචන හසුරුවන පිරිසක් ඉන්නවා. ඒ අයගේ ගීත මුදල් මත, වාණිජ පරමාර්ථ මත ඔනෑ තරම් එහාට මෙහාට හරි අපූරුවට මේ රටේ හුවමාරු වනවා. ඇත්තෙන්ම ඒ නිර්මාණ පද රචනා වශයෙනුත් තනු නිර්මාණ අතිනුත් දුර්වලයි.
  • අද මාධ්‍යවල ප‍්‍රවීණ නිර්මාණකරුවෙකුට අලූත් ගීතයක් ප‍්‍රචාරය කරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියනවා නේද?

අද නාලිකාවන් කටයුතු කරන්නේ ඔවුන්ගේ පැවැත්ම උදෙසා පමණයි. ඒ සඳහා ඔවුන්ගේ ඉලක්කය වන්නේ තරුණ පරපුර. අපි මතට විරුද්ධයි. සැබැවින්ම බාල බොලද ගීතවලට අබ්බැහි වීමත් එක්තරා ආකාරයට මත් වීමක් තමයි. මේ තුළින් සිදු වෙන්නේ සාහිත්‍යයෙන් තොර ලෝකයකට මිනිසුන්ව යොමු  කරමින් රිද්මයට පමණක් ඇලූම්කරන පිරිසක් බිහි කිරීමක්.  
ඉස්සර පේ‍්‍රමය කියන්නේ හරිම උත්තරීතර දෙයක්. නමුත් ආදරය පේ‍්‍රමය වැනි 
හැ`ගීම්වලදී ලැජ්ජාව, බිය, නැතිවෙලා ගිහිල්ලා. වැඩිහිටියන්ට ගෞරව කිරීම දුර්වලයි. ඇත්තෙන්ම එවැනි තත්ත්වයකට තල්ලූවෙලා ගිහින් තියෙන්නේ සාහිත්‍ය පරිශීලනය කිරීමේ දුර්වලතාව නිසයි.
  • අද වැඩි වශයෙන්ම අහන්න ලැබෙන්නේ පිරිමි පාර්ශවය අ`ඩන සිංදු. ඇත්තටම හේතුව මොකක් ද?

ඇත්තටම ඒකට මට දෙන්න උත්තරයකුත් නෑ. ඇත්තටම පිරිමින්ගේ අදෝනා තමයි ඇහෙන්නේ. ඇත්තටම පිරිමි නෑ කියන්නද, ඉන්නේ ගෑනු වගේ පිරිමි කියන්නද මට හිතාගන්න බෑ. හොඳ හඩක් තියෙන පිරිමි අඩන්න ගත්තාම මොකද වෙන්නේ, පිරිමින්ගේ හ`ඩ පෞරුෂය මේ විදිහට හෑල්ලූ කරන්නේ ඇයි ද කියන එක ප‍්‍රශ්නයක්.
  • පසුගිය කාලේ තරු තෝරපු තර`ගවලදී තේරුන තරුණ තරුණියෝ රට වටේ උස්සගෙන ගියා. නමුත් ඔවුන් අද කෝ? මොකක් හරි වරදක් තියෙනවා නේද?

මම ජාතික තරුණසේවා සභාවේ ඉන්නකොට තමයි තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව කළේ. ඒත් සභාපතිව සිටියේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නයන්. අපි එහි පුරෝගාමීත්වයක් ගෙන කටයුතු කළා. ඉතා විශිෂ්ට ගායක ගායිකාවන්, හොද ගීත රචකයින්, හොද තනු රචකයින්, හොද සන්නිවේදකයින් ජාතික තරුණසේවා සභාවේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව තුළින් බිහි වුණා.  
නමුත් අද මේ නාලිකාවලින් සිදු කරන්නේ කිසිදු ජාතික වගකීමක් නෙමෙයි. ඔවුන්ගේ පටු වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනිමට සඳහා කරගෙන යන කි‍්‍රයාවලියක්. කවුද තෝරපු තරුවලින් ඉතිරිවෙලා ඉන්නේ. හොද පරපුරක් මේ කලා ක්ෂේත‍්‍රය දායාද කරන්න ලැබීම පිළබඳව ඇත්තටම, මට මරණ මංචකයේ දී වුවද සතුටු වෙන්න පුලූවන්.
  • මේ ගැටලූවට විසදුමක් සොයන්න උත්සහ කරලා නැද් ද?

ඒක තනිවම කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. එදා අපිට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නයන්ගේ උදව් හා උපකාරය තිබුණා. නමුත් අද ජාතික තරුණසේවා සභාව නිද්‍රාශීලී. ජාතික තරුණසේවා සභාව තරුණයන් වෙනුවෙන් කළ යුතු කාර්යයන් හදුනන්නේ නෑ. මහගමසේකර, මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, මඩවල එස් රත්නායක, යනාදී ගීත රචකයින් ගීත ලීවට පස්සේ සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, සුනිල් සරත් පෙරේරා වැනි පරපුරක් බිහිවෙනවා. ඊට පස්සේ සුනිල් සරත් පෙරේරා, සුනිල් ආර් ගමගේ වැනි පරපුරක් බිහි වුණා. ඉතිං මේ කාර්යය සුනිල් ආර් ගමගේලාට තනිවම කරන්න බෑ. දැන් මේ යෂ්ටිය තව පිරිසක් අතට ගත යුතුයි. අරගෙන ඉදිරියට කරගෙන යා යුතුයි.  
අද දේශපාලකයන්ට අවශ්‍ය තමන්ගේ බලය රැක ගන්න, පරිපාලන නිලධාරීන් අවශ්‍ය තමන්ගේ පැවැත්ම රැුක ගන්න, මේ හේතු නිසා සියලූ දෙනාම තමන්ගේ  ඕන එපාකම් ඉටු කරගන්නවා මිසක් ජාතික වගකීමකට උර දෙන්න උවමනාවක් නෑ.

සංවාදය - අනූෂා රාජපක්ෂ
ඇත්ත