Thursday, June 11, 2015

සිරගත වූ වත්මන් තාරුණ්‍ය



විටෙක ඔබ සොයා මා පැමිණෙන්නට ඇත.ඔබ පසුකර ඔබ මොබ සැරිසරන්නට ඇත .විදුලි වේගයෙන් ඔබ පසු කර ගිය මට විටෙක ඔබ අමතක වන්නටද ඇත.තවත් විටෙක ඔබ තුරුලේ සැනසෙන්නට සිත් ඇතත් බණ්ඩාරනායක නේවාසිකාගාරයට වී ඔබ දෙස නෙත් අයා බලා සිටින්නට ඇත.ඔබ මා අතර මහ දුරක් නොතිබුණත් කොකු වැටෙන් ඔබ මා වෙන් කර තිබුණි. ”තෙල් බැම්ම” ඔබ අප නෙතේ රැදී, සිතේ ඇදි සොදුරු මතකයකි.

සීමාවක් නොමැති මහ සයුරට අසීමිත එක් දිය බිදක් එක් කරනු රිසියෙන් මම ඔබ වෙත එන්නම්,කැලණි සරසවි මාතාව අභිමානයෙන් වැජඹෙන යුගයක් හුදෙකලා වූ ඔබ ගැන මතකය අවධි කළ යුතුව ඇත.
වස්ත‍්‍රයකට තෙල් පැල්ලමක් වැටුණු විට ඒ පැල්ලම ලෙහෙසියෙන් නොයයි.විටෙක සදහටම සනිටුහන් වේ.හිරිමල් යොවුන් වියේ පසුවන මානව මානවිකාවන් වෙනුවෙන් ජෙෂ්ඨ උත්තමයන් විසින් තෙල් බැම්මේ සිට බෙදනු ලබන්නාවු තෙලද සදා මතකයේ රැදේ.

සත්තකින්ම මා හද තුළ වේදනාවක් ඇති කර නොගෙන හෙට මේ විසල් නගරයෙන් වෙන්ව යාමට හැකිද? එදා කෙළි දෙළෙන් පසු වූ මානව මානවිකාවන්ගේ ගී හඬ උසුළු විසුළු ඔබ කණ වැකෙන්නට ඇත.පෙම්වතුන්ගේ පෙම්බස්ද ශිෂ්‍ය වීරයන්ගේ වීර වදන්ද ඔබට ඇසෙන්නට ඇත.නවක නම්නීකරණයත් සම විශ්වවිද්‍යාල ඉතිහාසය, සංස්කෘතිය, උප සංස්කෘතිය ඔබ තරම් දන්නා අන්  කිසිවෙක් නොමැති තරම්ය.නමුත් ඔබ ඒ සියල්ල නිහඬව බලා සිටින්නට ඇත.

එදා ඔබ අපට අනාරාධිත අමුත්තෙක් වන්නට ඇත.එනිසාම ඔබගේ පැමිණීමේදී පිළිගැනීමේ ගීත විශේෂ උත්සව සංවිධානය නොවන්නට ඇත.නමුත් ඔබට අමුත්තෙක් ලෙසම පිටව යාමට දීමට අප සූදානම් නැත.එක හූ හඬකින් බණ්ඩාරණායක නේවාසිකාගාරයද පෙර පැවති පිරිමි නේවාසිකාගාරයන්හී සිසුන්ද භික්ෂු නේවාසිකාගාරයන්හී පැවිදි සිසුන්ද රැස්කර ගත හැකි වු කේන්ද්‍රය මධ්‍යස්ථානය ඔබයි.තෙල් බැම්මේ හිද ගැනීම යනු ජ්‍යෙෂ්ඨ උත්තමයන් ලබන්නාවූ වරප‍්‍රසාදයකි.නවක නම්නීකරණය තෙල් බැම්ම කේන්ද්‍ර කොට ගෙන සිදු වේ.එනිසාම තෙල් බැම්ම පිළිබ`ද සොදුරු මතකය සරසවි සිසුවාට පොදු දෙයකි.තවද අප ශිෂ්‍ය වීරයන් සිසුන් සංවිධානය කළේද, ඔවුන්ට අවැසි දැනුම, සමාජ සිද්ධි පිළිබඳ පරිකල්පන හැකියාව ලබා දුන්නේද තෙල් බැම්ම මුල් කරගෙනය.එපමණක් නොව සරසවි පෙම්වතුන් බොහොමයක් තම සිතෙහි ඇති කැමැත්ත මුල්වරට ප‍්‍රකාශ කරන්නේද තෙල් බැම්මේ සිටය.
එදා හවසට තෙල් බැම්ම අසලින් ගී ගායනයන් ඇසෙන්නට විය.විටෙක එම ගායනයන් අවසන් වන්නේ නැටුමෙන් හා රංගනයෙන්ය.තවත් විටෙක හරවත් මෙන්ම අරුත් සුන් වූ සාකච්ඡා තෙල් බැම්ම නිසලව අසා සිටින්නට ඇත.ඒ හිරිමල් තරුණ වියට දක්වන ගෞරවයක් වශයෙනි.

ඔබ අපිට දැනෙන්නට විය.අපිට ඔබ නැතිව බැරි විය.යනෙන බොහොදෙන අතර ඔබ සදාකාලික දසුනක් විය.සිසුන්ගේ ලේ දහදිය කදුලූ මෙන්ම යළි නොයෙන්නට සරසවිය මෙන්ම දිවියම හැරගිය සිසුන්ගේ ද සැබෑ ජීවන තතු විටෙක දන්නේ ඔබ පමණයි.අප ඔබට ආචාර කළ යුතුව ඇත.මන්දයත් ඔබ තවමත් අප විශ්වාසය රක්නා නිසාය.
නමුත් එදා ඔබ අවට පරිසරයට වඩා අද හාත්පසින්ම වෙනස් වී ඇත.තෙල් බැම්ම අසලින් අද බෝ පැළයක් හිදුවා ඇත.නිතරම එහි වැදුම්පිදුම් සිදු වේ.නිදහසේ රැස්වීමේ අයිතිය අද සිසුන්ගෙන් උදුරාගෙන ඇත.ඒ වෙනුවට කාලයත් සමඟ දැවැන්ත සටනකට ඔවුන් මුහුණ දී ඇත.තරඟ විභාග, නිබන්ධන, අසමත්විම්, අහිමි විම් සිසුන්ගේ ජීවිත වෙළා ගෙන ඇත.එදා තිබූ සුන්දරත්වය, ආදරය, විනොදය, විප්ලවය අද එහි නැත.බුද්ධිමය තර්ක විතර්ක නැත.එදා ඔබ මොබ සරි සැරු මානව මානවිකාවන් අද අන්තර්ජාලයේ සැරි සරමින් නොදුටු මිතුරන් සමඟ  දොඩමළු වෙමින් ඇත.බැලූ බැලූ තැන තාක්ෂණික මෙවලම් සමඟ සිසුන් තනි වී ඇත.අසල්වැසි සිසුවා අද නොහදුනයි.ඔහු සමඟ කතා නොකරයි.සිනහා නොවෙයි.නමුත් සමාජ ජාලා තුළින් එක්වර සමූහයක් සමඟ සම්බන්ධතා පවත්වයි.

හුදෙකලාව ඔබට නුහුරු නුපුරුදු බව අප දනිමි.ඔබව කටුගෙට යැවීමට අපට අවශ්‍ය නැත.තෙල් බැම්ම කේන්ද්‍ර කරගෙන කැලණි සරසවිය තුළ ආවේණික සංස්කෘතියක් නිර්මාණය වී ඇත.නමුත් එදා ඔබව විශ්වාස කළ ඔබට පෙම් බැදි කෙළිලොල් තාරුණ්‍ය අද තම මතය පිළිබද වුවද සැකයෙන් පසු වෙයි.ඒ ඔවුන් යදමින් බැද විලංගු ලා ඇති බැවිනි.
ඔබ පසුකර යන විට වුවද ආපසු හැරී එක් ආදර බැල්මක් හෙලන්නට  කිසිවෙකුගේ ආයාචනයක් අවැසි නොවනු ඇත.ඒ අප ඔබට ආදරය කරන නිසාය.


අනූෂා රාජපක්ෂ

No comments:

Post a Comment