Tuesday, June 23, 2015

නැන්දම්මා ලේලි කෝලම බලා අමතක කළ යුතුයි

 
 
ලාංකික රූපවාහීනි කාලාව ආරම්භයත් සමග ම පේ‍්‍රක්ෂක වින්දනය හා රසඥතාවය අරමුණු කරගෙන ටෙලි නාට්‍ය කලාව ද ආරම්භ විය. මුල් කාලීන ටෙලි නාට්‍ය හා ඉන්දීය අනුකාරක සිංහල විත‍්‍රපට අතර පැහැදිලි වෙනසක් දක්නට නොවීය.

1930 දශකය වන විට වර්ධනය වූ මාධ්‍ය ජාලය ගෘහනිය (කාන්තාව  අමතන්නට විය. 1930 ගණන්වල වර්තමානය මෙන් කාන්තාව බහුලව රැකියාවෙහි නිරත වී නැත. සැමියන් රැකියා වලටත් දරුවන් පාසැල් වලටත් ගිය පසු ගෘහනියන් නිවසෙහි හුදෙකලා විය. ඇමරිකාවේ ගුවන් විදුලි සේවා සහ සබන් නිශ්පාදන ආයතන හුදෙකලා වූ කාන්තාවන් ට වින්දනයක් ලබා දීමට නාට්‍ය විශේෂයක් නිර්මාණය කළහ. ඇමරිකාවෙන් ඇරඹි සෝප් ඔපරා නාට්‍ය කලාව පසුව බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ සෙසු රටවල ද ජනපි‍්‍රය විය. 1940 දශකයේ දී ඇමරිකා එක්සත් ජනපදය සතිපතා විකාශනය වූ සෝප් ඔපෙරා ගණන 64ක් වූ අතර, 1950 දශකයේ දී මෙම කලාව රූපවාහිනී මාධ්‍යයට ද හඳුන්වාදෙන ලදි. නමුත් අද වන විට මසකට විකාශනය වන ටෙලි නාට්‍ය ගණනය කිරීම අපහසුය. දිනෙන් දින නව ටෙලි නාට්‍ය බිහිවෙමින් පවති. දේශීයව නිපදවන ටෙලි නාට්‍ය මෙන්ම විදෙස් රටවලින් ගෙන්වා හඩකවන ලද ටෙලි නාට්‍යයද මේ අතර වැදගත් වේ. මේ දිනවල විකාශනය වන හඩකවන ලද ටෙලි නාට්‍ය අතර සප්නා, මේ ආදරයයි, ජෝදා අක්බාර්, මහා භාරත්, ශී‍්‍ර ගෞතම සිද්ධාර්ථ, අශෝක ආදිය වැදගත් වේ. මෙහි බහුතරයක් ඓතිහාසික රැල්ල නියෝජනය කරයි. ඒ අතර මේ ආදරයයි ටෙලි නාට්‍ය, දියුණු වූ ඉන්දියාව රුපයට නගයි. නමුත් සප්නා සංස්කෘතිය තුළ හුදෙකලා ගමනක් යයි.

සප්නා ටෙලී නාට්‍ය තම 500වන කොටස පසු කරමින් සිටියි. සප්නා ගේ සිහිනයටත් දින 500ක් ගෙවී ඇත. ලාංකික කතුන්ගේ සිහිනය සප්නාගේ සිහිනය සැබැ කර දිමය. ඔවුන් ඒ වෙනුවෙන් දින 500ක් එකම අරමුණක සප්නා දෙස බලා සිට ඇත. සැබැවින්ම මේ සිදු වන්නේ කුමක්ද? නැන්දම්මා ලේලී අරගලයට නිමාවක් නැද්ද? දුවක විවහයෙන් පසු පිවිසෙන නව නිවසේ සිටින මවට, ඇය තමන්ගේම දියණියක් ලෙස පිළිගෙන ඇයට ද මවක් විය නොහැකිද? සප්නා හී ප‍්‍රධාන කාන්තා චරිත කිහිපයකි. ඒ සන්තුෂ්(සප්නාගේ නැන්දම්මා, සප්නා, මීනා, එමලී, ඡාවී, චතුරි යන පිරිසයි. මේ අතර සප්නා, මීනා, එමලී මේ නිවසට ආගන්තුක තරුණියන්ය. තිදෙනාම එම නිවසේ යේලියන්ය. නැන්දම්මා හා මොවුන් අතර තිබෙන ගණුදෙනුව මේ කතාව පුරාවට දිස්වේ. සප්නා පොලිස් නිලධාරිනියක් වීමේ සිහිනයක් දුටු අයෙකි. ඇය කුඩා කළ සිට දුටු මේ සිහිනය තම සැමියාගේ නිවසේදී සුණු විසුණු වී යන සැටි ඇය සාම්ප‍්‍රධායික කාන්තාව  වෙනස් කිරිමට කළ උත්සහයන් ව්‍යර්ථයන් වී යන සැටිත් අප බලා සිටින්නට විය. අවසානයේ ඇයගේ එකම ගැලවුම වූයේ ඉතිරී වූ හිස් කළය පමණකි. විවිධ පරීක්ෂාවන්, සිරිත් විරිත්, සංස්කාතිය ඇය පසු පස යයි.

ඉන්දීය ටෙලි නාට්‍ය ලාංකික අපිට ආගන්තුක නැත. ශාන්ති, තුල්සී, ප‍්‍රවීනා, චිත්ති තවමත් අප සමාජයේ සැරිසරයි. තුල්සි ගස, මුදු, සාරි, ඒ ආකෘතියට එක පිට එක බිහි වූ දීර්ඝ ටෙලි නාට්‍ය රැල්ල ලාංකිකක අනුකරණයන්ය. සතියේ දින 05ක් ලාංකික මව්වරුන්, දියණියන්, ලේලියන් හා පියවරු, පුතුන් එකට එකතු වී සප්නා නරඹයි. මෙහි නිරන්තරයෙන් දකින්නට ලැබෙන කිකරු ලේලීය, නැන්දම්මාගේ ආධිපත්‍ය ලාංකික කතුන්ට මහත් ආශ්වාදයක් සපයයි. රූපවාහිණි තිරය මත වන සුන්දර ඇඳුම, ආකර්ශනීය කතා විලාශය, හැඩකාර ගමන අනුකරණය කළ අපේ කාන්තාව, අපේ මව්වරු මේ නැන්දම්මා ලේලි කෝලම බලා අමතක කරන්නේ නම් එය ඉතා යහපත් කරුණකි.

ලාංකික සමාජය තුළ කාන්තාවන් රැකියා කරයි. ඇය වෘත්තීය තත්ත්වය තුල යම් ස්ථාවරයන් ගොඩනගා ගනිමින් සිටී. සංස්කෘතික සිමාව තුළ සීමා මායිම් පැවතුනද එය සප්නා හී පෙන්වන තත්ත්වය තරම්ම නොවෙයි. අද අපේ නැන්දම්මා තම ලේලීයට සලකයි. ඇය පුතාමෙන් නිවසේ කටයුතු සඳහා කරනු ලබන සම කැපවිම දෙස උපේක්ෂාවෙන් බලයි. එදා අපේ සමාජයේ ගොඩනැගුණ නිර්මිතයන් බිද දැමීමට අවැසි වූවේද ලාංකික මවටයි. එදා සංස්කෘතික සාහිත්‍ය තුළ වූ,
 

කන්න රස අහර තද බඩගින්න                වෙත
නින්දට යහනාව තද නිදිමතට                  ඇත
නැන්දයි ලේලියි වගේ ඉන්නේ               නැත

නැන්දට ලේලී කොතැනැත් පැවතුනේ    නැත
 
වැනි නිර්මිතයන් අද බුද්ධියෙන් විමසමින් වෙනස් කරමින් සිටී. රූපවාහිනිය ඇස පිනවයි. සිත සතුටු කරයි. නමුත් එය අපේ යහපත් පරිවර්තනයන්ට යළි කණකොක් සේයා නොපෙන්වන්නේ නම් එය ඉතා වටී. ලාංකික කාන්තාව සංවර්ධනයට දායක වෙයි. අද ලාංකික කාන්තාව මුදල් උපයමින් නිවසේ කටයුතු වලට සැමියා හා සම සහයිකාවක් ලෙස කටයුතු කරයි. සංවර්ධනය තුළ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා සංවර්ධනය වර්තමාන භාවිතයේ පවතින ඉතාම සමාන යෙදුම් දෙකකි. එකක් වෙනුවෙන් අනෙක ආදේශ කරමින් භාවිත කිරිමේ හැකියාව ඇති මෙම යෙදුම් දෙකෙහි සැලකිය යුතු තරම් වෙනසක් නොමැත.
 
අන්ධයෝ, ගොළුවන් හා බිහිරන් මැද රාටි පවුලේ සිටින්නේ සිහිකලූපනාව තියෙන එකම එක්කෙනෙකි. ඒ සන්තුෂ් පමණකි. මෙම පවුලේ සියලූ තීරණ ගනු ලබන්නේ මවයි. ස්පනා යනු ඉන්දීය සාම්ප‍්‍රධායික චින්තනයට පොලූ පහරකි. ඇය රාටි පවුලේ සෙසු අයට වඩා ඉඳිරියෙන් සිතයි. ඉඳිරියෙන් කි‍්‍රයා කරයි.
 
සප්නා ලාංකික කතුන් නරඹන්නේ ඇයි? මේ සඳහා හේතු මොනවාද? මේ ප‍්‍රශ්නය ඇසූ විට දුන් පොදු පිළිතුරු කිහිපයකි. ඔවුන්ගේ ඇඳුම් හරිම ලස්සනයි.  දැන් ඒක බලන්නම  ඕන වගේ, ඒක පවුලේ කතාවක්. ඒ රුප, සිද්ධි, වර්ණ හරිම ආකර්ශනීයයි. මෙහි කතුන් නින්දට යන්නේද සියලූ ආභරණ හිස පළඳනා සහිතවය. ටෙලි නාට්‍ය අහිංසක අසරණ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ ආශාවන්ට තාවකාලික තෘප්තියක් ලබා දෙයි. මෙම චරිත සබෑ ලෝකයෙන් වෙන්ව පවතී. සැබෑවට බහෝ දුරින් ඇති මේ චරිත හා සිද්ධි ලාංකික චින්තනයට හෝ චර්යාවට අයහපත් බලපැමක් සිදු කරන්නේ නම් එය මහත් වූ අභාග්‍යයකි. 500 වන දින ගත වන විටත් සප්නා තම ඒකායන සිහිනයේ සිටියි. දැන් සුරාජ් අලූත් කෝලමක් ආරම්භ කර ඇත. ඒ සප්නාගේ පොලිස් කොලම රග දැක්වීමට උදව් කිරීමය. කාලයෙන් කාලයට සාත්තරකාරයෝ, මරාගෙන මැරෙන බෝම්බකරුවන්, නළුවෝ රාටී නිවසට ඇවිත් ඇවිත් යයි. අපි තව තවත් හරි බරි ගැසී සප්නා වෙනුවෙන් කාලය වෙන් කරයි. නමුත් සප්නා මේ කපේදි පොලීසියට නොයනු ඇත. නරඹන ඔබට ඒ හීනෙන් ගැලවීමක් ලැබෙන්නේද නැත.
 
අනූෂා රාජපක්ෂ
 

No comments:

Post a Comment