Monday, June 15, 2015

අද දවසේ නිර්මාණ කා වෙනුවෙන්ද?



අද දවසේ නිර්මාණ කා වෙනුවෙන් කුමන හේතුවක් මත බිහිවන්නේද? ඉල්ලූමට සරිලන සැපයුම තුළ තම ආත්මය විකුණා දැමීම මනුස්සත්වයට කෙතරම් උචිතද? ස්තී‍්‍රත්වය හෙවත් ස්තී‍්‍ර සැබැවින්ම කවුරුන්ද? ඉතා සුළු ඉඩකදි වුවද සැළෙන හදවතක් ඇති, සියුම්, බොලද, මෘදු වස්තුවක් ලෙස සලකන ඇය හුදෙක් පිරිමින්ගේ ජීවන තෘප්තිය වෙනුවෙන් තම සේවා සපයන සේවිකාවන්ද? විමසා බැලිය යුතුව ඇත. ස්ති‍්‍රය හා පුරුෂයා එකිනෙකට ජීව විද්‍යාත්මක වෙනස්කම් ඇති කොට්ඨාශ දෙකකි. කුඩා කළ සිටම ඇය ට හා ඔහුට උරුම වන කටයුතු කුමක්ද? එය විය යුත්තේ කෙසේද? කුඩා කළ ගැහැණු දරුවාට බොනික්කා අතට දුන්නේ ද, ඇය ඒ බෝනික්කා නලවමින් සෙල්ලම් බත් උයන්නේ ද තම උරුම හිමිකම වැළද ගැනීමට දරණ ප‍්‍රාථමික උත්සහයක් වශයෙනි.

කලාව අද කා උදෙසාද? එහි මුලික කතා තේමාව කවුරුන්ද? බහුතරයක් ස්තී‍්‍රන් පිළිබද නිර්මාණ බිහිවන්නේ පිරිමින්ගේ අතින්ය. ඒ නිර්මාණ නරඹන්නේ රස විදින්නේ බහුතරයක් වූ සාමාන්‍ය ස්ති‍්‍රයයි. සොවින් තැවෙන දුකින් පීඩාවට පත්ව සිටින ඇය සුන්දර රූපයකින් හා සුන්දර ඇදුමින් විසල් නිවෙස් තුළ තම දිවි ගෙවන කාන්තා චරිත දෙස ආශාවෙන් බලා සිටියි. තවද රූපවාහිනී තිරය මත දැන්වීම්කරණය තුළ දිග හැරෙන මව වයස අවුරුදු 30 නොයික්මවයි. සිහින් සිරුරක් ඇති ඇය සුදු පැහැයෙන් යුක්තය. එදා වේල අපහසුවෙන් සරිකරගනු ලබන්නාවු ඇය සුඛී සුවපත් වු ටෙලි නාට්‍යයේ සරණ කාන්තාව දෙස බලා තම දෑස් තෘප්තියට පත් කර ගනියි. ඒ ඈ දැස් මත සැබෑ නොවන ඇය පතන්නාවූ ලොව නෙත් මානයේ දිගහරින නිසාය.  මුවට මුව තබා කොදුරමින් දෙතොල් වලින් මල් රොන් ඉරීමට ඇරයුම් කරන, කංසා බී උඩුකුරුව සයනේ වැතිර සිටින සොකරියගේ සිට අහංකාර නගරේ ස්තී‍්‍රන් තම ආදරේ ඉල්ලා හඩන ස්ත‍්‍රීන්, පිළිබද ගැයෙන ගීත හා ගී රුප රචනා තුළ බහුලව පවති. කාන්තා කදුල රූපමය බසට පෙරළෙන්නේ පිරිමියාගේ ඇසින්ය. ඇය ප‍්‍රතිනිර්මාණය වන්නේ පිරිමියාගේ සිතෙනි.

ලාංකික දීර්ඝ ටෙලි නාට්‍ය ඉතිහාසය දිග් විජය කරන්නේ  දරුවෝය. අනේක දුක් පීඩා මධ්‍යයේ තම දියණියන් මෙන්ම පවුලේ සියලූ දුක් උහුලන්නේ කථා නායිකාව වූ සුදු ආච්චීම වේ. ඉන් ඇරඹී ලාංකික ටෙලි නාට්‍ය වංශය දුක් විදින, විදවන, මෙන්ම අමුතු කාන්තා චරිත ශාන්තී, තුල්සී(මහගෙදර, ප‍්‍රවීණා, චිත්ති, වසූදා, කාව්‍යා, ගෞතමී, කිදුරංගනා, පතිනි, බට්ටි, පබා, මුතු කිරීල්ලි අමන්දා, අමා තුළින් නෙත් මානයට ගෙන එයි. ඉන් නොනැවතුන ටෙලි නාට්‍ය කලාව සප්නා හී තනි වූ පීඩාවට පත් වූ එහෙත් නොසැලෙන කාන්තාව ලංකාව තුළ විකාශනය වුවද ඇය ඉල්ලා සිටින්නේ ඉන්දිය සමාජ ක‍්‍රමය තුළ ඇයට නිසි තැනය. ඇය සිදු කරන්නේ ඒ විමුක්තිය වෙනුවෙන් කරන ජිවන අරගලයකි.

රූපවාහිනිය තුළ නිරන්තරයෙන් කාන්තාවන් නිරූපනය වේ. කැමරා කාචයට ඇගේ ඉග, ළැම, මුව නිති හසු වෙයි. නිර්මාණකරුවා ව්‍යාපාරිකයාට ද, රසවින්දකයාට ද, හුදු සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට ද ලබා දෙන්නේ එකම ප‍්‍රතිකර්මයකි. ඒ කාන්තා ශරීරයයි. එය පූර්ණ හෝ අර්ධ වශයෙන් විය හැකිය. විටෙක ඒ වචනයෙන් ලබා දෙන ඉගි පමණකි. ආගම සංස්කෘතිය සධාචාරය මාතෘත්වයේ මුවාවෙන් පුරුෂයා විසින් කාන්තාව පසෙකට තල්ලූයි. නමුත් පිරිමින් විසින්ම මුදල් වෙනුවෙන් ඇගේ සිරුර බන්දේසියේ තබා අලෙවි කරන විට  කාන්තාව ආගම සංස්කෘතිය සධාචාරය මාතෘත්ව ඔවුන්ට අමතක වී ඇත. නමුත් ලංකාවේ කාන්තාවන් ද නිර්මාණකරණයේදී පුරුෂයාට වඩා වෙනස් නොවේ. විටෙක මෙය සම්ප‍්‍රධායෙන් සිත් තුළ ලැගුම් ගත් චින්තනයන් අහේතුකව නිර්මාණ තුළ මතු වනු විය හැකිය.

පෙළ පොත තුළ සාමාට මල් නෙලා දෙන්නේ අමරය. සම්ප‍්‍රධාය තුළ ඇගේ චරිතය වෙනස්ය. සමාජය තුළ ස්තී‍්‍ර පුරුෂ ප‍්‍රතිරූපය නිර්මාණය වීමේදී ආගම, අභිචාර සහ විශ්වාස පද්ධතීන් හේතු කාරක වූ අතර වූ අතර මේ සියලූ දේ පුරුෂාධිපත්‍යය තුළ උත්පාදනය වූ නියමයන් විය. සමාජයේ මුල් බැස ගත් අගතිගාමී ආකල්ප හා සම්ප‍්‍රධායන් අභියෝගයට ලක් කරමින් නව චින්තන විප්ලවයක් තුළ ස්තී‍්‍ර ප‍්‍රතිරුපය පිළිබද නවමු කතිකාවතක් ඇති කිරීමට තවමත් නිර්මාණකරුවා අපොහොසත් වී ඇත.

අනූෂා රාජපක්ෂ

No comments:

Post a Comment