Thursday, June 11, 2015

සිය රට දේ සිරි සැප දේ



ජීවිතයට පාට දෙන්න ආත්මය වර්ණ ගන්වන්න විදින විදවන ජීවිතය තුළ ඔබ කෙතරම් දේ කරයිද? ලස්සන පාට පිරුණු ලොවක් නිති සිහිනෙන් දකින ඔබ ඒ සිහින තුළ ජීවත් වෙයි. ඉතින් සියල් සපිරි ලොවක් සිහිනෙන් දකින ඔබ දැන් සුරක්ෂිතද?

කුස පුරා බත් කාපු ජාතියක්, අහාර නිසා මරු තුරුළට යයි නම්, අනාගත සුරක්ෂිතතාවය පිළිබද නැවත සිතිය යුතු නොවේද? ගොඩ ගොවිතැනෙන් මෙන්ම මඩ ගොවිතැනෙන් ජීවිකා සරිකරගත් අපේ ඇත්තන් කුස පුරා කා බී සතුටින් සිටි බව ජන මූලාශ‍්‍ර වල සදහන් වෙයි.

        කුරක්කන්                  පිට්ටු
        සමගින් කෝලි           කුට්ටු
        පොරණ අප                රට්ටු
        කකා සිටියෝ නොවී   කෙට්ටු

ස්වයං පෝෂිත කෘෂි අතීතයකට උරුමකම් කියන අපි බහු ජාතික කෘෂි රසායනික ද්‍රව්‍ය වෙනුවට අතීතයේ විවිද කෙම් ක‍්‍රම හා ශිල්පීය ක‍්‍රම භාවිත  කර ඇත. මේවාට ආවේණික වත් පිළිවෙත් ඇත. එයට කෙම් පහන් වී වගාවේදී භාවිත කරන ක‍්‍රම දැක ගත හැකිය. අපේ පැරණි කෙම් ක‍්‍රම වැඩි වශයෙන් ඇත්තේ වී වගාවට ආවේණිකවය. ගොයම් මැසි වර්ධනය සඳහා අළු ඉසීම කෙම් ක‍්‍රමයකි. අතීතයේ විවිද කෘමින්ගෙන් වන උවදුරු වළක්වනු සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් කළ කෙම් ක‍්‍රම ම`ගින් මිනිසාට මෙන්ම පරිසරට හානියක් සිදු නොවුනී.

කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව  වගාවන් කළ හැකි අකාරය අතීතයේ සිටම පැවත එන බවත් එම ක‍්‍රම භාවිතයෙන් ලොව කිසිදු රටක නොපවතින ආකාරයේ ඉතා දියුණු කෘෂි කර්මාන්තයක් පැවති  බවට සාදක ලැබී ඇත. මීයන් ගෙන් වන හානී මර්ධනයට, අන්නාසී ශාකයේ ගොබ, හන ශාකයේ ගොබ, පැපොල් ශාකයේ කොල කුණු වන විට එන දුගද මීයන් පළවා හැරීමට සමත්ය. මෙනිසා ගොවීහු එවැනි දේ කුඹුරු වලට යෙදුහ.

ගොයම් මැස්සන් මර්ධනයට, කිරි වැදීගෙන එන ගොයමට ගොයම් මැස්සාගෙන් වන බලපෑම අවම කිරීමට වගා බිමේ පන්දම් දැල්වීම පැරැන්නන් සිදු කළහ. වෙනත් කෘමීන් හා පණුවන් මර්ධනයට, කුඹුරේ තැනින් තැන පක්ෂීන්ට වසා සිටීමට හැකි වන පරිදී ලී පොල් පිති සිටු වීම කුඹුරු වටා ගොඩපර කුඹුක් ,මී, උණ ආදී ගස් වැවීම ජෛව පළිබෝධ මර්ධනයේ උපාය මාර්ගයකි. එම ලීවල හෝ ගස් වල වැසීමට පැමිනෙණ පක්ෂීහූ දිවා රැ දෙකේම වාසය කරමින් කෘමීන් ආහාරයට ගැනීම සිදු කරති. ජලයේ තම්බාගත් දුම් කොළ නැටි දියර ගොයමට ඉසීමෙන් ද, ඉත්ත කොළ කොටා දුඹුලූ දැලි සමඟ අඹරා වක්කඬේ තැබීමෙන් පණු රෝග මර්ධනය කර ඇත.
කලවැල් යුෂ කෘමීන් පණුවන් හා කීඩෑවන් මර්ධනයට යොදා ගනී. පුස්වැල් කැබැල්ලක්, පතොක් නාවා කොළ තලා කුඹුරේ ප‍්‍රධාන වක්කඬේ තැබීමෙන් වතුර සමඟ කලවම් වී කුඹුර පුරා විසිරෙන පුස් වැල් යුෂ නිසා කෘමි හානි බොහෝ දුරට මර්ධනය වේ. තවද හිගුරු කොළ කොහොඹ කොළ වල් සූරියකාන්ත කොළ කොටා වතුර සමඟ මිශ‍්‍ර කර දිනක් තබා දියර ඉසිනයකින්  ගොයමට ඉසීමෙන් කෘමීන් පාලනය වේ. ගුරුන්ද ලී කැබලි දමා පල් වීමට ඉඩ හරින ලද වතුර ගොයමට ඉසීමෙන් කෘමින් මර්ධනය කර ඇත. දාස්පෙතියා මල් වලින් දුඟදක් හමයි. ගොයමට එන කෘමීන් එම ගන්ධයට අකමැති නිසා ගොයමට ඒම වැළකී යයි.

අතීතයට ආවැඞීම තුළින් වත්මන තුළ උදා වී ඇති තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවේ. නමුත් එවන් අතිතයක් අමතක කර දැමිය නොහැක. අතීතයක් නැතිව වර්ථමානයක් ගොඩනැගිය ද නොහැක. ජාතියේ ඉරණම විස කෘෂි රසායනයන්ට විසදීමට ඉඩ හැර බලා සිටිමට ද  නොහැක.

සිය රට කන බොන දේ හැම  පිරිහෙති
පිට රට කන බොන දේ එහි  පුරව   ති
දෙලොවට හිත වැඩ කනපිට පෙරළෙ ති
පහළට යන දර දඩු ලෙස පා වෙ   ති

නූතනත්වය සමඟ විශාල වෙනසකට ලක් වූ ආහාර රටාව අද ක්ෂණික ආහාරයෙන් රසවත් වී ඇත. සියල්ල අතේ දුරින් සුපර් මාර්කට් හි තබා ඇත. මුදලට විකිණෙන ආහාරය ගුණය වෙනුවට රසයෙන් හා පිට හැඩයෙන් ඔපවත් වි ඇත. ආහාරය ඉතා වැදගත්ය. එහි පිරිසිදු බව ද වැදගත් වේ. ආයුර්වේදයේ දැක්වෙන පරිදි සැපතට මුල් තුනකි. එනම්, හොඳ ආහාර, හොඳ හැසිරිම, හොඳ වැඩ යනා දී වශයෙනි.

නව පරපුර ගුණ ආහාරයට වඩා ක්ෂණික වූ රසවත් ආහාරය පි‍්‍රය කරයි. අධික රසවත් දේට බාල කල සිට ම දිව පුරුදු කිරීම හේතුවෙන් අඩු රසයකට රුචියක් නූපදී. අද කෑම වේලෙන් අත්හැරෙන කතුරුමුරුංගා මල්, චූර්ණ ලෝහ ගුණ සහිත අහරකි. ඇඟ නිවෙයි. මුරුංගා මල් බඬේ රෝගයන්ට ගුණ වේතවද තම්පලා රත් තම්පලා, කටු තම්පලා, ආදියේ ගිනියම නිවෙන ලෝහ, ලවණ ඇති ලේ පිරිසිදු වන ගුණ ඇතරත්තම්පලා වලින් වඩා ලේ පිරිසිදු වේ. මී විශ  පිට කිරීමට ද කූර තම්පලා හොඳ කෑමකි. කංකුං ධාතු වඩවයි. පෙණල ව්‍යංජනය තුන් දොසටම හිතයි. තණ කිරී වැඩි වේ. නිවිති, බන්ඩක්කා, මුගුණුවැන්න, ඇඹුලැඹිල්ල, සාරණ, රාඹු, පතෝල යනාදී බහුතරය අකමැති එළවළු හා පලා වර්ග ගුණදායක වේ.

දිනෙන් දින සකල සමාජය නව හිනි පෙත් සොයා යන්නේය. සමස්ත සමාජය කාර්යය බහුල සමාජයට රිසි සේ තම ජීවිකා සරි කර ගනු ලබයි. මදක් සිත් අවදි කර සිතිය යුතු කාලය පැමිණ ඇත. ගොවි මහතා තම වගාවට කෘෂි රසායන යෙදීමේ දී මෙන්ම මව්වරුන්ද ආදරනීය තම දරුවන්ගේ කුස පුරවන ආහාරය සෞඛ්‍ය සම්පන්න බව  හා ගුණාත්මක බව ගැන යලි සිතා බැලිය යුතු කාලය පැමිණ ඇත.


 අනුෂා රාජපක්ෂ

2015.02.08 ATHTHA 

2 comments:

  1. කෙම් ක‍්‍රම කරන්න මිනිස්සුන්ට වෙලාවක් තියෙනවාද කියන එකයි අවුල

    ReplyDelete
  2. ගොඩාක් වැදගත් ලිපියක්

    ReplyDelete