Monday, June 15, 2015

මෙගා නාට්‍යයකට රිංගා ගත්තොත් කොහොමහරි ජීවත් වෙන්න පුලූවන්



 

කලාව ට හිමිකරුවන් නැත. අයිතිකරුවන් නැත. අයිතිකරුවන් හිමිකරුවන් නැති කලාව තුළ අත්කර ගැනීම් විටින් විට ඇති වේ. ඒ කලාව සරසන නිර්මාණ තුළින්. ඇස පිනවන රූප නිතර හමු වී මැකී යයි. සිතන්නට යමක් එකතු කළ රූප සදා මතකයේ රැදේ. ඒකාකාරීත්වය අතර නව්‍යකරණයන් සොයා යන මිනිසුන් නිතර හමු නොවෙයි. ලලිත් රත්නායක ඒකාකාරීත්වය අතර නව්‍යකරණයන් සොයා යන කලා කරුවෙකි. ”තෙත් සහ වියලි” ටෙලි නාට්‍යයෙන් රසික ප‍්‍රජාව හඳුනාගනු ලබන ඔහු ”අරුංගල්” තුළින් රසික සිත් සියුම් ලෙස ස්පර්ශ කළ බව සැබැවකි. මේ ලලිත් රත්නායක මහතා සමග කළ සංවාද සටහනයි.

ඔබගේ නිර්මාණයන් හි ඔබ දකින සුවිශේෂීත්වය කුමක්ද?

මම හිතන ආකාරයට අපේ නිර්මාණ තුළ යම් විශ්වීය බවක් තිබිය යුතුයි. මම නිර්මාණ කරන්නේ හුදෙක් රසාස්වාදය පිණිස ම නෙමෙයි. පේ‍්‍රක්ෂකයා තුළ  හැගිම් දැනීම් ඇති වන ආකාරයට නිර්මාණ බිහි කිරිම මගේ ස්වරුපයයි. මම හිතන ආකාරයට මගේ නිර්මාණ වල ගැඹුරු දහමක් තියෙනවා. ඒ  මනුෂ්‍යත්වය පිළිබඳවයි.

ඔබගේ නිර්මාණවල භාවිත වන වර්ණ තුළ යම් ඒකාකාරී බවක් තියෙනවා. එයට යම් හේතුවක් තියෙනවාද?

මම මැරුණු වර්ණ වලට කැමති මනුස්සයෙක්. අද ගොඩක් වර්ණවත් නිර්මාණ බිහි වෙන්නේ. වර්ණ සැකසීමේදීත් ඔවුන් හැකිතාක් ඒ නිර්මාණ වර්ණවත් කරනවා. නමුත් මම කැමති කතාවට හා චරිතවලට මුල් තැනක් දෙන්න. ඒ සඳහා පසුබිමේ තියෙන වර්ණ අඩු කිරීමට. අද තාක්ෂණයේ දියුණුව දෙස බලන කොට ”තෙත් හා වියලි” ටෙලි නාට්‍ය කළේ අඩු පහසුකම් තියෙන පහළ මට්ටමේ කැමරාවකින්. එහිදී අපි කළේ කැමරාවේ වර්ණ අඩු කිරීම. ”අරුංගල්” ටෙල් නාට්‍ය සිදු කලෙත් මේ අකාරයට. අද තාක්ෂණය දියුණුයි ඒ නිසා අපි ඒ කාර්ය සිදු කරන්නේ පටිගත කිරීමෙන් අනතුරුව. මගෙ අලූත් නිර්මාණයේ වර්ණ පෙර නිර්මාණයේ මෙන් නොවේ. නමුත් එහිත් යම් වර්ණ අඩු වීමක් දක්නට ලැබෙනවා. වර්ණයෙන් විශාල වෙනසක් කරන්න පුලූවන්. රෝස පාට ඇදුමකින් සැරසුන ගැහැණු ළමයා හැඞීම හා සුදු පාට ඇදුමකින් සැරසුණු ගැහැණු ළමයා හැඞීම දර්ශනය වෙන්නේ දෙයාකාරයකටය. එහි වෙනසක් තියෙනවා.

අද බිහිවෙන ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?

මම ටෙලි නාට්‍ය බලන්නේ නෑ. කැමරාවක් ඉඳිරියට විත් යම් නළු නිළි පිරිසක් දෙබස් කීම ටෙලි නිර්මාණයක් කියලා තමයි අද නිර්මාණ කරන අය හිතන්නේ. මුල් කාලීනව පේ‍්‍රක්ෂකයින් ටෙලි නාට්‍ය වැළදගන්නේ එය සිනමා නිර්මාණයක් තරම් ම වැදගත් දෙයක් ලෙසයි. ඒ නිසාම මුල් කාලයේ ටෙලි නාට්‍ය නිර්මාණය ට ලොකු කැපවීමක් කළා. අද වන විට ඒ කැප කිරීම කරන්නේ ඉතා සුළු පිරිසක්. අතලොස්සක් තරම් සුළු පිරිසක් පමණයි, මේ තුළ යම් හරයක් සොයමින් යන්නේ. හොද නිර්මාණයක් කිරීමට ලොකු මුදලක් වැය වෙනවා. මම ටෙලි නාට්‍ය වලින් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ටෙලි නාට්‍ය 03ක් කරලා මනුස්සයකුට ජීවත් වෙන්නත් බෑනේ. අද තියෙන ලොකුම ගැටලූව තමයි ලොකු වියදමක් දරමින් සිදු කරන නිර්මාණ විකුණා ගැනීමට නොහැකි වීම. නාලිකාවලිනුත් ලාබය ගැනයි බලන්නේ. නමුත් හොඳ නිර්මාණයක් වෙනුවෙන් මේ අතර නාලිකා යම් ඉඩක් වෙන් කරන අවස්ථාවලදි ලැබෙන අවස්ථාව විතරයි ඉතිරිව තියෙන්නේ. ඇත්තම කතාව හොඳ ටෙලි නාට්‍යයක් කරලා කොහොමත් ජීවත් වෙන්න බෑ. ඔන්න මෙගා නාට්‍යයකට රිංගා ගත්තොත් කොහොමහරි ජීවත් වෙන්න පුලූවන්.

සම්මාන උළෙලවල්  ගැන මොකද හිතෙන්නේ?

මුල් කාලයේ සම්මාන උළෙලවල් දෙස බලාගෙන හිටියා. දැන් අපි ඒ උළෙලවල් නියෝජනය කරනවා. සත්තකින්ම මේ විනිශ්ච මණ්ඩලයේ සැකැස්ම යම් කිසි ක‍්‍රමයකට අනුව සිදු විය යුතු දෙයක්. මේ කලාව පිළිබඳ යම් හැගීමක් මේ විනිශ්ච මණ්ඩලය සතු විය යුතුයි. නිවැරදි සුදුසු විනිශ්ච මණ්ඩලයක් සිටින අවස්ථාවන් හී මේ තත්ත්වය ලොකු වෙනසකට ලක් වෙනවා. සාධාරණ නිවැරදි විනිශ්චයන් ඉන් ලැබෙනවා. මම කරපු නාටය දෙකෙන්ම මම දැනට සම්මාන ලබා ගෙන තියෙනවා. ”තෙත් සහ වියලි” ටෙලි නාට්‍යයට සම්මාන 26ක් ලබා ගත්තා. ඒ වාර්තාව මම විසින්ම බිද දමමින් ”අරුංගල්” ටෙලි නාට්‍යයට සම්මාය 44ක් ලබා ගත්තා. මම හිතන ආකාරයට දැනට ඒ වාර්ථාව කවුරුත් බිද දමා නෑ. අහිමි වීම් හිමි වීම් අතර සම්මාන උළෙලවල් හී ගැටලූ අත්විදි කෙනෙක් මම.

අරුංගල්” ටෙලි නාට්‍යයෙන් පසු කළ නව නිර්මාණ මොනවාද?

මගේ අලූත්ම නිර්මාණය තමයි ”වන් වේ”. මෙහි මූලිකම තේමාව මානසික රෝගයක්. මෙහිදී පශ්චාත් ව්‍යසන ක්ලමතය පිළිබඳව කථිකාවට ලක් වෙයි. ලෝකයේ මෙන් ම ලංකාවේ ද මෙම රෝගයට ලක් වූ සෙබලූන් බහුලව දැකිය හැකියි. අපේ රටේත් මේ රෝගයට ගොදුරු වූ පිරිස් බහුලව ඉන්නවා. මේ නාට්‍ය තුළ මනෝ වෛද්‍යවරයෙක් ට යුද්ධ කාලයේ හමුවන රෝගීන් 03දෙනෙක් ඉන්නවා. මින් එක් රෝගියෙක් යුධ හමුදා සෙබලෙක් වන අතර අනෙක් රෝගියා LTTE සමාජිකයෙකි. අනෙක් රෝගියා යුද්ධයෙන් පීඩාවට පත් වූ ගමක සාමාන්‍ය වැසියෙකි. එකම රෝහලක ප‍්‍රතිකාරගනු ලබන මේ තිදෙනා වටා කතාව ගොඩනැගී ඇත.

මේ නිර්මාණයට දායක වෙන්නේ අලූත් චරිතද?

ඔව්. මේ  නිර්මාණයට ගොඩක් වේදිකා නාට්‍ය ශිල්පීන් දායක වෙනවා.

මෙවැනි නිර්මාණයක් කිරීමට මූලික වූ යම් හේතුවක් තියෙනවද?

මගේ සහෝදරයෙක් ඉන්නවා මනෝ වෛද්‍ය වරයෙක්. එයාගේ හැඩය චෛතසිකයන් ගොඩක් වෙනස්. එයාගේ ප‍්‍රතිරූපය මෙන්ම පසු කාලීනව මෙම රෝගය පිළිබඳව මම කළ පරීක්ෂණ, නිරීක්ෂණත් එක්ක මට යම් අදහසක් තිබුණා.

මම හිතන්නේ මගේ නිර්මාණවල මට ම ආවේණික වුණ යම් රිද්මයක් තියෙනවා. ඒකට කැමති පිරිසක් ඉන්නවා. ඒ වගේම මගේ නිර්මාණවලට පි‍්‍රය නොකරණ පිරිසකුත් ඉන්නවා. වේග රිද්ම ගී අහන්න පුරුදු වූ පිරිසකට අමරදේව මහත්තයාගේ ”සඳ ගත් පිණි දිය” ගීත අහන්න බෑ. ඒ  ගීතය අහන්න මැඩපවත්වාගත් හික්මීමක් තියෙන්න  ඕන. මම හිතන්නේ මගේ නිර්මාණවලටත් පුරුදු වූ යම් පිරිසක් ඉන්නවා කියලා.

අලූත් නිර්මාණය පේ‍්‍රක්ෂකයා භාර ගනීවිද?

අලූතින් කළ නිර්මාණය මගේත් අලූත් වැඩක්. ඒක කොයි විදිහට පේ‍්‍රක්ෂකයා භාර ගනීවිද දන්නේ නෑ. තව ටික දවසකින් මේ නිර්මාණය ජනතාවට සමීප වෙයි.

 

No comments:

Post a Comment