Monday, June 15, 2015

නිම කළ මෙහෙවරක අරුමය


 

 
 
ලොව ම වේගයෙන් ඉඳිරියට යයි. ඉඳිරියට යන සෑම සියලු දේ අතර ආපස්සට ගොස් සිදු වූ සියල්ල යළි තබූ තත්ත්වයට ම පත් කරන්නට අපිට හැකිනම්, කොතරම් අපූරුද ? සෝමලතා සුබසිංහ මයත්මිය ගේ මෙහෙවර නිමා විය. ඇගෙන් ශිල්ප ඥානය ලත් බොහෝ කලාකරුවන් දළුලමින් වැඩෙයි. යළි හෙට දිනයේ ඇය කලා කෙත වෙනුවෙන් යමක් දායාද නොකරාවී. නමුත් මතකයේ තබා ගිය දෑ සිහිපත් කරාවී ඇය ව චිරාත් කාලයක්.

සෝමලතා සුබසිංහ මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක සිටිය දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද‍්‍රයන්ගේ එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ රගපෑමෙන්  ජනප‍්‍රියත්වයට පත් වූවාය. සෝමලතා සුබසිංහයන් ඇගේ වේදිකා රංගනයේ විශිෂ්ඨතම කුසලතාවක් ලෙස හැටේ දශකයේ දී වේදිකා ගත කෙරුණු ගුණසේකර ගලප්පත්තිගේ මුහුදු පුත්තු නාට්‍යය විචාරක ප‍්‍රසාදයට ලක් වේ. රංජිත් ධර්මකීර්තිගේ හිරු නැති ලොව, හෙන්රි ජයසේනගේ දිරිය මව, සහ දයානන්ද ගුණවර්ධනගේ නරිබෑණා ඇගේ වේදිකා රංගනයේ තවත් කැපී පෙනෙන අවස්ථා කිහිපයකි. ඇය ර`ගපෑ අවසන් වේදිකා නාට්‍ය සිය දියණිය වන කෞෂල්‍යා ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සොඳ නළු මරණය වේ. සිනමාව තුළ මඩොල් දුව, මහගෙදර, විරාගය, මේ මගේ සඳයි, සුදු කළුවර, තිලක හා තිලකා සහ සිරිබෝ අයියා වැනි චිත‍්‍රපට ගණනාවක සිය රංගන කුසලතාව විදහා දැක්වීමට සමත් විය.

වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක් ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප‍්‍රමාණයක් නිර්මාණය කර ඇත. ළමා මනසට ගැලපෙන අපූරු නිර්මාණ බිහි කළ ඇය හිම කුමාරි, ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි, වලස් පවුල, පුංචි අපට දැන් තේරෙයි වැනි නාට්‍ය නිර්මාණය සම්මානයට පාත‍්‍ර වූවාය.

මිය යන විට 78 වැනි වියේ පසු වූ සෝමලතා සුබසිංහ මහත්මිය හෙළ කලා කෙත සරු කිරීමට දැක්වූ දායකත්වය අපමණය. යන්නවුන් බෝහෝ ඇත. යන්නවුන් අතර නොයන්නවුන් ඇත්තේ ම නැත. යන නොයෙන දහසක් අතර ගිය නමුත් සදා නොයන්නට සිත් තුළ ලැගුම් ගත් සෙනෙහස විටින් විට කතා කරා වී, ගුණ කියා වී. මේ සෝමලතා සුබසිංහ මහත්මියගෙන් ශිල්ප ඥානය ලද බොහෝමයක් අතර දෙනෙක්. ඇය ගැන පැවසූ වදන් මෙසේය,
 

 

සුලෝචනා පෙරේරා - මිස් මට ගොඩක් සමීපයි

මිස්ව හඳුනාගත්තේ කොහොමද?

මම මිස්ව දැනගන්නේ මම විශ්වවිද්‍යාල සිසුවියන් ව ඉන්නකොට. ඒ 2005 වසරේ යෞවුන් රගහල පදනම සංවිධානය කළ නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වූ අවස්ථාවක. ඒ කාලේ රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. 2005 වසරේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ මම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. පුංවි අපිට දැන් තේරෙයි, තොප්පි වෙළෙන්දා, විකෘත්ති, වළස් පවුල, හිම කුමරි ආදි ළමා නාට්‍ය වලට සම්බන්ධ වුණා. මිස්ගෙ හොද මග පෙන්වීමක් තියෙනවා. මම හිම කුමරි නාට්‍යයේ කළේ කුඩම්මගේ චරිතය. මිස් එක්ක වැඩකරපු ආසන්නම අවස්ථාව හිම කුමාරි නාට්‍ය. මට හු`ගක් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ හැමදෙයක් ම සිදු වුණේ මිස් ගේ ම`ග පෙන්වීම නිසා.

සෝමලතා මිස්ගැන මොකද හිතෙන්නේ?

මගේ ජීවිතේ මම හුගාක් ම ශෝක වුණ දෙවෙනි අවස්ථාව මිස්ගෙ මරණය. පළවෙනි අවස්ථාව මගේ ඥාති සහෝදරියක් මිය ගිය අවස්ථාව. ඇත්තෙන් ම මිස් මට ගොඩක් සමීපයි. මං ගැන ලිපියක් පළ වුණොත් ඒවා එකතු කරලා තියලා මට දෙනවා. මගෙ යම් නිර්මාණයක් දැක්කොත් එහි ගුණ දොස් කියලා දෙනවා. රංගනයේ හැදෑරිය යුත්තේ මොන මොන ඉසව්වලින් ද කියලා මිස් කියලා දුන්නා. මිස් රංගනයට පමණක් නෙමෙයි වැඩිහිටියෙක් විදිහට ජීවිතයට අවශ්‍ය උපදෙසුත් ලබා දුන්නා.

මම සෝමලතා සුබසිංහ මිස් ගේ අවසන් ශිෂ්‍ය පරම්පරාව. මිස් ගේ ශිෂ්‍යයෙක් වෙන්න ලැබීම භාග්‍යයක්. ඒ තරම් දැනුම් සම්භාරයක් තිබුණ ලාංකික ළමා නාට්‍ය කලාවට ඒ තරම් සේවයක් කළ ගුරුවරියක් සමග අත්දැකීම් බෙදා ගන්න ලැබීම පෙර පිනක් ලෙයසි මම දකින්නේ. මිස් ගේ අහිමි වී ලොකු අඩුවක් වේවී ලාංකික කලාවට.

 

පි‍්‍රයංකර රත්නායක - ඇය මට දෙවෙනි මවක්

සොමලතා සුබසිංහ මිස් ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ සමස්ථ කලා ක්ෂේත‍්‍රයේ අපි දකින දෙයක් තමයි කාන්තාවන්ගේ මැදිහත් වීම බොහොම අඩුයි. නිළියක් ලෙස මේ ක්ෂේත‍්‍රයේ සිටියත් ඊට එහා ගොස් නිර්මාණ සඳහා පුළුල් ලෙස දායක්තවය සපයන පිරිස් අවමයි. නමුත් එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති වැනි උසස් නාට්‍ය සම්ප‍්‍රධායක ඇසුර ලබා ගනිමින් තමයි සෝමලතා සුබසිංහ මිස් මේ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ. ලංකාව වැනි සංස්කෘතික හර  පද්ධතියක් තුළ කාන්තාව භාවිත වන ආකාරය වෙනස්. නමුත් සෝමලතා සුබසිංහ මහත්මිය තම දරුවන් ට මෙන් ම ළමා තරුණ පරපුර වෙනුවෙන් විසල් සේවයක් කල කාන්තාවක්. ඇය විශ්වාස කළා ළමා හා තරුණ පරපුර යහපත් කිරීම හා වඩා හොඳ හලාවක් බිහි කිරීම අනාගතයට ඉතා වැදගත් බව.

මම ළමා හා යෞවන රංග පීටයේ විශාල කාලයක් සිටි කෙනෙක්. මෙතන ගොඩක් වෙනස් තැනක්. මිස් ගුරුවරියක් පමණක් නෙවෙයි. විටෙක මවක් වගේ. උසස් නාට්‍ය කලා සම්ප‍්‍රධායක් වගේ ම හොද උගත් බුද්ධිමතුන් පිරිසකුත් බිහි කිරීම අරමුණු වුණා. මෙතනට පැමිණි බොහෝ දෙනෙකුට විශ්ව විද්‍යාලයට යෑමේ අවශ්‍යතාව ඇති කළේ මිස්.

මිස් පෙන් වූ ගමන් මග කොහොමද?

මම හිතන විදිහට සෝමලතා මිස් ගේ ළමා නාට්‍ය හා යෞවුන් නාට්‍ය විශාල බලපෑමක් කළා පසු කාලීන ළමා හා යෞවුන් නාට්‍ය කලාවට. උත්සව ඉලක්ක කොටගෙන නිර්මාණය වන ළමා නාට්‍ය හැරෙන්නට සෝමලතා මිස් ගෙන් පසු උසස් නාට්‍ය කලාවක් බිහි නොවුණු තරම්ය. 

අපි එළියේ ලෝකයට විවෘත වූ විට අපිට මවක් ලෙස පියෙක් ලෙස ප‍්‍රතිචාර දැක්විය හැකි පිරිස් හමුවෙනවා බොහොම අඩුයි. නමුත් මිස්ගෙන් මව් සෙනෙහස අපිට ලැබුණා. ඇය අපිට කථා කළේ ඉතා ලෙංගතු භාෂාවකින්. මම මිස්ගේ නාට්‍ය වල රගපාලා තියෙනවා. වේදිකා පරිපාලනය, සහය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඇත්තෙන් ම මිස් අපිට තේ එකක් හදන ආකාරයේ සිට අධ්‍යක්ෂණය කීරීම දක්වා සියලූ කටයුුතු දැනුවත් භාවයකින් හා හික්මීමකින් සිදුකරන අයුරු ඉගැන්නුවා.

මගේ ජීවිතේ රංග කලා මහ ගෙදර වෙන්නේ මිස්ගෙන උගත් කාලය. මට ගී‍්‍රක නාට්‍ය පිළිබඳ  ආශ්වාදයක් ඇති වීමට හේතු වූවේ සෝමලතා මිස් ගේ ඇන්ටගනී නාට්‍ය. ඒ වගේ ම මම ආසහි සංගීතමය නාට්‍ය කරන්න. ඒ සඳහා පෙළඹවීමක් ඇති කළේත් මිස්. ඇත්තටම අපි මිස්ගේ ගෝලයෝ නෙමෙයි, ශිෂ්‍යයෝ. අපිට මිස් හැමදේ ම ඉගැන්නුව උගන්නලා බාහිර ලෝකයේ කලාව අපි සොයා ගියා. එකයි මට මිස්ව දෙවැනි මවක් ලෙස දැනෙන්නේ. ඇය අපිට උගන්නලා අපිට හරි පාර පෙන්නලා අපිව නිදහස් කරනවා. ඇගේ ළග හිටපු කාලය මගේ ජීවිතයේ ආශ්වාදනීයම කාලයක් වුණා.

මිස්ගේ රංගනය ගැන මොකද හිතෙන්නේ?

මිස් නාට්‍යවල රගපානවා විතරක් නෙමෙයි. ඇය ඒ තුළ ජීවත් වෙනවා. ඇය හොඳ නිළියක් පමණක් නෙමෙයි, චරිත ස්වභාවය, රූපණය , වේදිකාව පිළිබඳ මනා දැනුමකින් තම චරිත නිරූපණය කළ නිළියක්. මම දකින විදිහට ගොඩක් අධ්‍යක්ෂකවරුන් නිළියක් ලෙස ඇගේ දක්ෂතාවයෙන් ප‍්‍රයෝජන  ගත්තේ නෑ.

මිස් ජීවත් වුණේ කි‍්‍රයාකාරී වූ තරුණ පිරිසක් සමග. සුන්දර නිර්මාණ සමග. මෑත කාලීනව ඇගෙන් නිර්මාණයක් බිහිවුණේ නෑ. ඇගෙන් නිර්මාණයක් බිහිවුණා නම් ඇය තවත් කලක් ජීවත් වෙන්න තිබුණා. ඇයට යළි තම නිර්මාණ දිවිය සමග පිඹිදෙන්න තිබුණා. ඇගේ අභාවය ලාංකික කලාවට ලොකු අඩුවක් වේවී.

No comments:

Post a Comment